ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය අන්ද්‍රේ රුඩෙන්කෝ සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් ඊයේ (අප්‍රේල් 2) පවත්වා තිබේ.
ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ය.
මෙහිදී අදහස් දැක්වූ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කියා සිටියේ, ලංකාවට පැමිණි රුසියානු ජාතිකයන්ගෙන් තමන්ට ශ්‍රී ලංකාව අතිශය සුන්දර රටක් බව ත් එහි සිටින ජනතාව ඉතා සුහදශීලී ජනතාවක් බවදැන ගැනීමට ලැබුණු බව ත් ය.
ශ්‍රී ලංකාව රුසියාවේ ඉතාමත් පැරණි මිතුරෙකු බව ත් මෙම දීර්ඝකාලීන සුහදතාවය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ත් ඔහු සඳහන් කළේ ය.
තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවට සහයෝගය අවශ්‍ය සෑම අවස්ථාවක ම ඒ වෙනුවෙන් පෙනී සිටීමට රුසියාව සූදානමින් සිටින බව ය.
ඒ අනුව, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම අසීරු අවස්ථාවේදී අවශ්‍ය රුසියානු තෙල් කඩිනමින් සැපයීමට පියවර ගන්නා බව ත් රුසියානු ආයෝජකයන් ලංකාවේ නව ආයෝජන සඳහා යොමු කිරීමට මෙන්ම තව තවත් සංචාරකයන් මෙරටට එවීමට උපරිම උත්සාහ ගන්නා බව ත් ඔහු පොරොන්දු විය.
එසේ ම, රුසියාවේදී මියගිය ශ්‍රී ලාංකික ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ගැනීමට ද මෙහිදී නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා එකඟතාවය පළ කළේ ය.
ශ්‍රී ලංකාව දැඩි බලශක්ති අවශ්‍යතාවයකින් පසුවන අවස්ථාවක අපගේ පැරණි මිතුරෙකු වන රුසියානු රජය විවිධාකාරයෙන් උපකාර කිරීමට ඉදිරිපත් වීම දැඩි සේ අගය කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මෙහිදී ප්‍රකාශ කළේ ය.
වසර 70කට ආසන්න කාලයක් පවතින දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරට ත් ශක්තිමත් කරගැනීමට සුදුසු ම කාලය එළඹ ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි කාලයේදී රුසියාව සමඟ තවත් දීර්ඝකාලීන වෙළෙඳ ගිවිසුම්වලටත් එළඹීමට කටයුතු කරන බවද මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.