පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ඇතුළු දහස් ගණනකට වැටුප් ගෙවන ලද්දේ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් බවත්, ඔහු ඒ සියල්ල සිදු කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඍජු අනුදැනුම හා අවසරය මත බවත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි.
සරත් ෆොන්සේකා මහතා මේ බව සඳහන් කළේ කොළඹදී පෙරේදා (08) වැනිදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. සුරේෂ් සලේ යනු හමුදා නිලධාරියකුට වඩා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘වහලකු’ ලෙස කටයුතු කළ පුද්ගලයකු බවටද ෆොන්සේකා මහතා චෝදනා කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුමකින් තොරව සලේ වැසිකිළියට පවා නොගිය බවත්, ඔහු කටයුතු කළේ රාජපක්ෂවරුන්ගේ පුරෝහිතයකු ලෙස බවත් කියා සිටියේය.
තමා හමුදාපතිව සිටියදී සලේ බුද්ධි අංශ තනතුරුවලින් ඉවත් කර සිටියත්, පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහුව ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්ත කරගත් බව ද ෆොන්සේකා මහතා අනාවරණය කළේය.