හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අයත් කොළඹ ටොරින්ටන් ප්‍රදේශයේ පිහිටි නිවසක් මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය පිළිබඳව වහාම පැහැදිලි කිරීමක් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී තිබේ. සිරීලිය ගිණුමට අදාළව සිදුකරන විමර්ශනයකට සමගාමීව මෙම පියවර ගෙන ඇති අතර අදාළ දේපල නීති විරෝධී ලෙස උපයාගත් මුදල්වලින් මිලදී ගත් බවට සැක කෙරේ.
අදාළ පැහැදිලි කිරීම සිදු කරන තෙක් එම නිවසේ හිමිකාරීත්වය වෙනත් පාර්ශවයකට පැවරීම අත්හිටුවා ඇති අතර නිවස මිලදී ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වුවහොත් අධිකරණමය ක්‍රියාවලියක් හරහා එම දේපල අත්හිටුවීමට පියවර ගනු ඇත. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් විමර්ශනයට අදාළව ඔහු ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය දෝෂ සහිත බව අල්ලස් කොමිසම පෙන්වා දෙයි. ඒ අනුව 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 49 වන වගන්තිය ප්‍රකාරව නිවැරදි දිවුරුම් ප්‍රකාශයක් දින 14ක් ඇතුළත ලබා දෙන ලෙස පසුගිය මාර්තු 23 වැනිදා හිටපු ජනාධිපතිවරයාට දන්වා තිබේ. නියමිත කාලය තුළ නිවැරදි තොරතුරු ලබා නොදුනහොත් එය තොරතුරු වසන් කිරීමක් ලෙස සලකා ඔහුට එරෙහිව ඉදිරි පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා ඇත.