තව පැය කිහිපයකින් සනත් නිශාන්ත දැයෙන් සමු ගනියි

කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) පස්වරුවේ සිදු කිරීමට නියමිත ව තිබේ.

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ දී අද දහවල් 01ට අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය මේ වනවිට ආරච්චිකට්ටුව ප්‍රදේශයේ නිවස අසල පිහිටි තාවකාලික ශාලාවක තැන්පත් කර ඇති අතර අද දහවල් 01 දක්වා දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව හිමි වේ.

අවමංගල්‍ය සභාවේ කටයුතුවලින් අනතුරු ව දේහය රාජකදළුව කතෝලික සුසාන භූමිය වෙත පෙරහරකින් ගෙනගොස් භූමදානය කිරීමට නියමිතයි.

පසුගිය 25 වැනි දින අලුයම කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනය වූ කන්ටේනර් රථයක රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ ජීප් රථය ගැටීමෙන් සිදුවූ අනතුරින් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් වූහ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ආගමික නායකයින්, දේශපාලඥයින් ඇතුළු පාක්ෂිකයින් විශාල පිරිසක් ඊයේ රාත්‍රියේත් පැමිණ සිටි බව ‘අද දෙරණ’ වාර්තාකරු සඳහන් කළේය.

අනතුරින් මිය ගිය ආරක්ෂක නිලධාරියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මහනුවර – හෑදෙණිය – මරවනාගොඩ පොදු සුසාන භූමියේ දී ඊයේ පස්වරුවේ සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *