විකිණිය හැකි සියල්ලම විකුණයි – සතොස ලොරි රථ විකුණන්න තීන්දු කරයි

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ඈවර කිරීම සඳහා පළමුව එම ආයතනය සතු ලොරි රථ විකිණීමට වෙළෙඳ අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ඒ අනුව එම ලොරි විකිණීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම ලොරි රථ විකිණීමෙන් ලැබෙන මුදලින් සතොස ආයතනය විසින් ලංකා සතොස ආයතනයට ගෙවීමට තිබෙන රුපියල් මිලියන 180ක ණය මුදල් සහ සතොස සේවකයන්ගේ පාරිතෝෂික මුදල් පියවීමට නියමිතය.

සතොස ආයතනය සතුව දැවැන්ත ප්‍රවාහන සේවයක් පැවැති අතර, දිවයින පුරා සතොස ශාඛා වලට එම ලොරිවලින් ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කෙරිණි.

සතොස ආයතනය ඈවර කිරීම සඳහා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දු විසින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

ඇමැතිවරයා විසින් ඉකුත් වසරේ (2023) ජූනි මස 26 වැනිදා ද ‘සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම’මැයෙන් 23/1208/027/018 අංක දරන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.

පසුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ ඒ පිළිබඳව සොයා බැලීමට ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් ද පත් කෙරිණි.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ සතොස ආයතනය නියෝජනය කරන ඉහළ නිලධාරීන්ගෙන් සැදුම්ලත් මෙම කමිටුව විසින් තීරණය කර ඇත්තේ සතොස සම්බන්ධ සියලු ව්‍යාපාරික කටයුතු සමාප්ත කිරීමටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *