පාස්කු ප්‍රහාර මාලාවට අදාළ මහ නඩුවේ පැමිණිල්ලේ තීරණාත්මක සාක්ෂි විභාග කෙරෙන වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එම නඩුව විභාග කරන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් යතුරුපැදි සංඛ්‍යාව ඊයේ (05දා) සිට ඉහළ නංවා ඇති බව වාර්තා වේ.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ (සභාපති), මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක සහ මහාධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම විශේෂ විනිසුරු මඬුල්ල හමුවේ පාස්කු මහ නඩුව දිනපතා විභාග වේ. මෙම නඩුවේ විශේෂත්වය වන්නේ ඇතැම් සාක්ෂි රාත්‍රී කාලයේදී ද අඛණ්ඩව විමසීමයි.
මෙම නඩු විභාගය පැවැත්වෙන්නේ 2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙනි. මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව පවරා ඇති මෙම නඩුවේ තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී.
නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනාවන්ට වරදකරුවන් වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය පසුගියදා මරණ දඬුවම නියම කරන ලදි.