හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට චීන සංචාරයක් සඳහා ගෙන යෑමට අවශ්‍ය වූ ඇයගේ ඡායාරූපයක් ලැමිනේට් කර රාමු කිරීමට වැය වූ රුපියල් 9270ක මුදල පවා වියදම් කර තිබෙන්නේ ජනාධිපති අරමුදලෙන් බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පෙෙර්දා (15) පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා විවාදයට එක් වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“2025 වසරට අපේක්ෂිත ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම රුපියල් ට්‍රිලියන 4.9ක් වන අවස්ථාවක නව සංශෝධන ඇස්තමේන්තුගත රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 5.2ක ඉහළ අගයක් ගන්නවා. එය රුපියල් ට්‍රිලියන 0.3ක වැඩි වීමක්. පසුගිය කාලය පුරාම රාජ්‍ය ආදායම ඍණ අගයක් ගත්තේ. හොරකම් කරමින් නාස්ති කරමින් මේ දේවල් කරන්න බෑ. ඒ කාලයේ හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ වැය ශීර්ෂය පාවිච්චි කළේ මෙහෙමයි. මම ටිකක් කියන්නම්. 2013දී රුපියල් 65,000ක් ජනාධිපති අරමුදලෙන් වැය කරලා කවුද හාමුදුරුනමකට පූජා භාණ්ඩ අරන් දෙන්න. 2014 අප්‍රේල් 09 වැනිදා තංගල්ල කාල්ටන් නිවෙසේදී සිදු කළ නාමල් රාජපක්ෂගේ ජන්ම දිනය නිමිත්තෙන් පිරිත් දේශනාවට සහ කාල්ටන් නිවෙසේ අවුරුදු උත්සවයට රුපියල් 660,000ක් වියදම් කරලා. මේ වගේ අපි කරන්නේ නෑ. ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ 2009දී චීන සංචාරය සඳහා රැගෙන යෑමට 2008දී චීන සංචාරයේදී ගත් ඡායාරූපයක් ලැමිනේට් කර රාමු කිරීමට රුපියල් 9270ක් වියදම් කරලා. ඒකටවත් තමන්ගේ සල්ලි වියදම් කරන්නේ නෑ. 2014දී රුපියල් 350,000ක අටපිරිකර ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න අරගෙන. මේ අය නිවන් යන්න බලලා තිබෙන්නෙ ජනතා මුදල් වියදම් කරලා. මම මේවා කියන්න හිටියේ නෑ. ඉස්සර වෙලා මන්ත්‍රීවරයෙක් කීවානේ අපි ජනාධිපති වැය ශීර්ෂයට වැඩි මුදල් වෙන් කර තිබෙනවා කියලා. ඒ නිසයි මම දේවල් කීවේ.”