විවිධ ව්‍යාපෘති සඳහා මහවැලි අධිකාරිය සතු ඉඩම් අක්කර ගණනාවක් නිසි ක්‍රමවේදයකින් තොරව හිටපු ඇමැතිවරයකු වූ චමල් රාජපක්ෂ මහතාගේ ලිපිවලට පමණක් ලබාදී ඇති බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.
නිසි ක්‍රමවේදයකින් තොරව මෙසේ ඉඩම් ලබාදී ඇති ආකාරය සම්බන්ධයෙන් වසර දහයක් හෝ ඇතුළත් වන පරිදි විමර්ශනයක් සිදු කරන ලෙස ද හේෂා විතානගේ මහතා නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය. විවිධ ව්‍යාපෘතිවලට මෙම ඉඩම් ලබාදී ඇත්තේ කිසිදු ශක්‍යතා අධ්‍යයනයකින් තොරවයි. ඇතැම් මාධ්‍යවේදීන්ට, විශ්‍රාමික හමුදා නිලධාරින්ට පවා ඉඩම් ලබාදී ඇති බව ද හේෂා විතාරණ මහතා කීවේය. “චමල් රාජපක්ෂ මහතාගේ ලිපිවලට අක්කර ගණන් ඉඩම් ලබාදී තිබෙනවා. කිසි පදනමක් නැහැ. නේවාසික ව්‍යාපාර කළමනාකරු ලෙස පත් වන්නෙත් දේශපාලන සුදුසුකම් තිබෙන අය මිස නියම සුදුසුකම් තිබෙන අය නෙවෙයි.
ඉඩම් කියන්නේ සීමිත සම්පතක්. ඒවා නිසි පරිදි කළමනාකරණය කළ යුතුයි. මොනව හරි ව්‍යාපෘතියක් නිවැරදිව කරන කෙනකුට ඉඩම් ලබා දෙන්න.
ඩෝල් ලංකා සන්නාමය විකුණාගෙන ඒ සන්නාමය යටතේ එක එක්කෙනාට ඉඩම් කැබැලි අරගෙන, විශේෂයෙන්ම ඔය අක්කර 39 තිබෙන්නේ ඇඹිලිපිටිය කඩදාසි කම්හල පරිශ්‍රයෙන් තමයි ඒ ඉඩම් කොටස වෙන් කර ගෙන තිබෙන්නේ. පුළුවන්කමක් තිබෙනව ද මේ ඉඩම් ලබාදී ඇති ආකාරය සම්බන්ධයෙන් වලව කලාපය පදනම් කරගෙන කමිටුවක් පත්කර හෝ නැත්නම් ඇමැතිවරයා හෝ කවුරු හරි ප්‍රධානත්වයෙන් පත් කරන්න. ඉන් පසුව පසුගිය අවුරුදු 10ක කාලය තුළ ඉඩම් ලබාදී ඇති ආකාරය සම්බන්ධයෙන් ආපසු සොයාබැලීමක් සිදු කරන්න” යැයි ද හෙතෙම මෙහිදී කියා සිටියේය.