නිවස සම්පූර්ණයෙන් ගිනි ගත්තත් බිලිඳා තොටිල්ලේ සුව නින්දක සිටියදී සොයා ගනියි

කිලිනොච්චියේ, පුන්නයිනීරාවි ප්‍රදේශයේ නිවසක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ගියත් නිවසේ තොටිල්ලක සිටි කුඩා බිලිඳකු කිසිදු උපද්‍රවයකින් තොරව බේරී සිටියදී ගම්වාසීන් ඔහුව සොයාගෙන තිබේ.

මාස හතරක කුඩා දරුවා තොටිල්ලක දමා මව පානීය ජලය රැගෙන ඒමට ගිය අවස්ථාවේදී එම නිවසට ගිනි ඇවිළී තිබේ.

ධීවර රැකියාවෙන් ජීවත් වන නිවසේ අයිතිකරු රැකියාවට ගොස් සිටි අතර නිවසේ සෙසු දරුවන් දෙදෙනා ද පාසල් ගොස් සිටියදී නිවස ගිනි ගෙන තිබේ.

පැල්පත් නිවසක් වූ මෙම නිවස විනාඩි දහයක් පහළොවක් ඇතුළතදී සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ගොස් තිබේ.

මව පැමිණ විලාප තබමින් දරුවා තොටිල්ලක සිටින බව කී නිසා ගම්මුන් නිවස තුළට ගොස් බලන විට කිසිදු උපද්‍රවයකින් තොරව දරුවා තොටිල්ලේම සුවසේ නිදා සිටියදී ගම්වාසීන් බිලිඳාව එළියට ගෙන තිබේ.

මෙම නිවස ගිනි ගැනීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.

නිවස ගිනි ගැනීමෙන් නිවස තුළ තිබූ රුපියල් 50,000.00ක මුදලක් ඇතුළු දැල්, ධීවර උපකරණ රැසක් ද විනාශ වී ගොස් තිබේ. කණ්ඩාවලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *