මෙරට ඉඩම් මිල පහළ යන්න පටන් ගනියි

මෙතෙක් තමන් උපන් බිමේ බිම් අඟලක්වත් අයිතියක් නොමැතිව සිටි පවුල් 24 ලක්ෂයකට මේ දිනවල සිදු කෙරෙන ‘උරුමය’ ඔප්පු ප්‍රදානයත් සමඟ රටේ ඉඩම් මිල අඩුවීමේ ප්‍රවණතාවයක් උද්ගත වී ඇතැයි වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ කියති.

රජය සතු ඉඩම් විශාල ප්‍රමාණයක් ඔප්පු මඟින් 24 ලක්ෂයකට පෞද්ගලික අයිතියට පැවරීම තුළින් මෙරටේ විශාලතම පෞද්ගලීකරණ වැඩසටහන එය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සඳහන් කර තිබේ.

මේ අයුරින් ඉඩම් අහිමිව සිටි විශාල ජන කොටසකට ඉඩම්වල සින්නක්කර හිමිකම ලැබීමත් සමග පෞද්ගලිකව ඉඩමක අයිතිය හිමිකර ගැනීමට තිබු වුවමනාව පහළ යාමක් සිදුවන නිසා ඉඩම්වලට තිබෙන ඉල්ලුම අඩුවීමෙන් ඒකාන්තයෙන්ම ඉඩම් මිල පහළ බැසීම සිදුවන බව වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ තවදුරටත් සඳහන් කරති.

මෙරටේ වැඩිම ඉඩම් ප්‍රමාණයක අයිතිය තිබෙන දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් කෘෂිකාර්මික කටයුතුවලට, කර්මාන්ත සඳහා මෙන්ම ව්‍යාපාර සඳහා දිගු කාලීන බදු පදනම යටතේ ජනතාව වෙත පැවරීමටද නියමිතව තිබේ.

මේ පිළිබඳව ඉකුත් අයවැය ලේඛනය මගින් Station Plaza සංකල්පය හඳුන්වා දීමත් සමඟ මේ දිනවල එම ඉඩම් පැවරීම සඳහා යෝජනා ලබා ගැනීම සිදු වෙමින් පවත්නා අතර එය ජූලි මස 15 වැනිදා වන විට අවසන් වීමට ද නියමිතය.

එමෙන්ම මහවැලි සහ අනෙකුත් අමාත්‍යාංශ සතු ඉඩම් ද දිගු කාලීන බදු පදනම යටතේ විශේෂිත ව්‍යාපෘති සඳහා පවරා දීමට ද රජය තීරණය කර තිබේ.

ඊට රජයේ තක්සේරුකරුගේ තක්සේරු වටිනාකම යටතේ ඒවායේ බදු කුලිය තීරණය වන අතර කිසිදු ආකාරයක අතරමැදි හෝ දේශපාලන සබඳතාවයකින් තොරව ඵලදායි ව්‍යාපෘති සඳහා එම ඉඩම් හිමි අමාත්‍යාංශ වෙත ඉල්ලුම් ඉදිරිපත් කිරීම මගින් රාජ්‍ය ඉඩම් බදු පදනම යටතේ ලබා ගැනීමට ඉඩකඩ සැලසේ.

මේ තත්ත්වය මත මේ දිනවල පෞද්ගලික ඉඩම් වෙළෙඳාම සඳහා දැන්වීම් පළ කළද මිල විමසීම් විනා ඉඩම් මිලට ගැනීමට ජනතාව ඉදිරිපත් වීමේ විශාල අඩුවක් තිබෙන බවද වෙළෙඳපොළ විශ්ලේෂකයෝ වැඩිදුරටත් සඳහන් කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *