පොලිසිය තීරණාත්මක අපරාධ විමර්ෂණ යළි අරඹන්න යයි – සාකච්ඡා පවත්වයි

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී ඊයේ (3) විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

මෙරට තුළ ආන්දෝලනයට තුඩුදුන් ජාතිකතලයේ අපරාධ, වංචාවන් සහ වෙනත් විශේෂ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය පවත්වනු ලබන විවිධ විමර්ශන වල ප්‍රගතිය සොයාබැලීම සඳහා මෙම සාකච්ඡාව කැදවා ඇත.

මේ සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය, පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද එක්වූ බව පොලීසිය පැවසීය.

මේ වන විට සිදුකරගෙන යමින් පවතින විමර්ශන මොනවාද, තාවකාලිකව නවත්වා තිබෙන විමර්ශන ඇත්නම් ඒවා මොනවාද, එසේ නැවැත්වීමට දේශපාලන හේතු බලපා තිබෙනවාද යන්න සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමුකර ඇත.

මේ අතර අනවශ්‍ය ලෙස ප්‍රමාද වී තිබෙන විමර්ශන සහ අළුතින් ආරම්භ කළ යුතු විමර්ශන ඇත්නම් ඒවා මොනවාද යන්න සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇත.

එමෙන්ම එසේ විමර්ශන ප්‍රමාද වී තිබේනම් ඒවා මොනවාද යන්න පිළිබඳවද සාකච්ඡාකළ බවද පොලීසිය සඳහන් කළේය.

මෙහිදී වැදගත් විමර්ශන රාශියක් පිළිබඳ අවධානය යොමු කර ඇති අතර, එම සාකච්ඡාවට අදාළ කරුණු පිළිබඳ වාර්තාවක් සකස්කර ඉදිරි විමර්ශන සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *