සිංගල් සුපර් පොස්පේට්(SSP) නිෂ්පාදනයට සඳහා ආයෝජකයන්ගේ අභිලාෂ කැඳවීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් මේ වන විට ආරම්භ කර ඇති අතර අභිලාෂ කැඳවීම අද (16) පස්වරු දෙකෙන් අවසන් වනවා.
දැනට ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් තම අභිලාෂ අමාත්‍යංශයට භාර දී තිබෙනවා.
ඒ අනුව මෙම කර්මාන්තශාලාව ඉදිකිරීමට යෝජිත ත්‍රිකුණාමලය චීන වරාය අසල වරාය අධිකාරියට අයත් භූමිය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින් නිරීක්ෂණයට ලක්කළා.
එම භූමිය ආශ්රිත යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකටද එතුමා සහභාගි වුණා.
මෙම කර්මාන්තශාලාව ලංකා පොස්පේට් සමාගම සහ පෞද්ගලික අංශය එක්ව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරී ක්‍රමයට ආරම්භ කිරීමට නියමිතව තිබෙනව.
දැනට කෘෂිකාර්මික කටයුතු සඳහා වාර්ෂිකව ශ්‍රී ලංකාවට ආනයනය කරන රුපියල් බිලියන අටකට ආසන්න ට්‍රිපල් සුපර් පොස්පේට්(TSP) පොහොර ප්‍රමාණය ක්‍රමානුකූලව සහ සම්පූර්ණයෙන්ම සිංගල් සුපර් පොස්පේට් වලින් ආදේශනය කිරීම සහ අතිරික්තව නිෂ්පාදනය කරන පොහොර ප්‍රමාණය අපනයනය කිරීමේ අරමුණෙන් මෙම කර්මාන්තශාලාව ඉදිකරන බව අමාත්‍යවරයා මෙම අවස්ථාවට එක් වෙමින් කියා සිටියා.
මෙහි දෙවන අදියරයේදී සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනයට අවශ්‍ය සල්පියුරික් අම්ල නිෂ්පාදන කර්මාන්තශාලාවක්ද ඉදිකිරීමට යෝජිත බවටද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මෙම අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි අරුන් හේමචන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් අක්මීමණ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් හේමන්ත ගමගේ ඇතුළු රාජ්‍ය නිළධාරීන් එක්වී සිටියා.