සංචාරක වීසා මත රට තුළට ඇතුළුවන විදේශීය ජාතික කාන්තාවන් සම්බාහන මධ්‍යස්ථාන, ගණිකා නිවාස, ස්පා ආයතනවල නීති විරෝධී වෘත්තීන්වල යෙදීම ඉතා මෑත කාලය තුළ දී කැපී පෙනෙන ලෙස වැඩිවෙමින් පවතින බවට ශ්‍රි ලංකා ආගමන විගමන බලධාරීහු අනතුරු අඟවා සිටිති.
උදාහරණ ලෙස එම බලධාරීන් පෙන්වා දෙන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සඳුදා (ජූලි 14) කොල්ලුපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකදී වීසා කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විදේශීය කාන්තාවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් සිදුවීමය.
අත් අඩංගුවට පත් වයස අවුරුදු 25 ත් 39 ත් අතර කාන්තාවන් අතර තායි ජාතික කාන්තාවන් හය දෙනෙකු, වියට්නාම ජාතික කාන්තාවන් තිදෙනෙකු සහ චීන ජාතික කාන්තාවක ද ඇතුළත් වේ.
ඔවුන් සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති අතර, සිව් දෙනෙකු ඔවුන්ගේ අවසර ලත් රැඳී සිටීමේ කාලය ද ඉක්මවා රැඳී සිටි බව සොයා අනාවරණය කරගෙන ඇත.
ජ්‍යෙෂ්ඨ ආගමන නිලධාරියෙකු පැවසුවේ, නාගරික ස්ථාන කිහිපයක විදේශීය ජාතිකයන් සම්බන්ධ සැක සහිත ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු මත ආගමන දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුව උක්ත වැටලීම සිදු කළ බවයි.