ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ජංගම වායු විමෝචන පරීක්ෂණ කටයුතු කාලාන්තරයක් තිස්සේ නිසි ලෙස සිදු කර නොමැති අතර එම කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජංගම වායු විමෝචන පරීක්ෂණ බස් රථ සංවර්ධනය කර සේවා සැපයීම ප්‍රධාන අරමුණ වූවත් දැනට ඒවා ක්‍රියාත්මක මට්ටමේ නොපවතින බව පැවසූ අමාත්‍යවරයා, විදේශීය ආධාර මඟින් වසර පහකටත් වඩා වැඩි කාලයකට පෙර ලබා දී තිබූ මෙම බස් රථ පාවිච්චි නොකර අතහැර දමා තිබූ බවද පෙන්වා දුන්නේය.
කෙසේවෙතත් කළ බලපෑම් හමුවේ රත්මලාන, අම්පාර, යාපනය, බදුල්ල, මාතර, යටිනුවර, මැදවච්චිය, කුරුණෑගල සහ ඇඹිලිපිටිය යන ඩිපෝවලට අයත් ජංගම වායු විමෝචන බස් රථ නවයක් නවීකරණය කිරීමේ කටයුතු මේ වන විට සිදු කර ඇති අතර ඉන් බස් රථ පහක වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවද බිමල් රත්නායක මහතා පැවසීය.
ඔහු පවසන්නේ, එම බස් රථවල අදාළ කට්ටල සවිකරමින් පවතින අතර ඉදිරියේදී සේවා සැපයීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවයි.
මෙම වසර තුළ අවම වශයෙන් බස් රථ පහක හෝ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.
වායු විමෝචන පරීක්ෂණ පිළිබඳ 2025 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මට අනුව යෝජිත ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රතිපාදන මඟින් රුපියල් මිලියන නවයක් වැය කිරීමට යෝජනා වී තිබූ බවත් එහි නවීකරණ කටයුතු සඳහා පළමු කාර්තුවේ රුපියල් මිලියන පහක්ද, දෙවන කාර්තුවේ රුපියල් මිලියන දෙකක්ද, තෙවන කාර්තුවේ රුපියල් මිලියන දෙකක්ද ආදී වශයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් කර තිබූ බවත් බිමල් රත්නායක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.