දක්ෂිණ අධිවේගී මාර්ගය ඉරි තැලෙයි – හදන්න කැබිනට් තීන්දුවක් ගනියි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ දොඩංගොඩ අතර කිලෝමීටර් 19 සිට 34 දක්වා කොටස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසු අද (2025 අගෝස්තු 27) නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම මාර්ග කොටසේ පුළුල් පෘෂ්ඨික ඉරි තැළීම් සහ අභ්‍යන්තර ව්‍යූහාත්මක හානි සිදුවී ඇති බව නිරීක්ෂණය කර ඇත.

ඒ අනුව, මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම, පාදමේ ඇති වූ බිඳවැටීම් අලුත්වැඩියා කිරීම සහ නව තාර ආස්තරණයක් යෙදීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ සුදුසුකම්ලත් දේශීය ආයතනවලින් ලංසු කැඳවා ඇත.

ලංසු ඇගයීමෙන් පසු, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අවම ලංසුකරු ලෙස මාගා ඉංජිනියරින් (පුද්ගලික) සමාගම නිර්දේශ කර තිබේ. ඒ අනුව, එම සමාගමට අදාළ කොන්ත්‍රාත්තුව ලබාදීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *