මෙරට ජනතාව අරක්කු සහ බියර්වලට දවසකට කෝටි 60 ක් වියදම් කරයි

ශ්‍රී ලංකාවේ මිනිසුන් දිනකට කෝටි 60ක මුදලක් අරක්කු සහ බියර් සඳහා වියදම් කරන බව මත්ද්‍රව්‍ය හා මද්‍යසාර තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ අමරනාත් තැන්න මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගියදා කෑගල්ල සර්වෝදය ආයතනයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් පල කරමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරනාත් මහතා මෙසේද කීහ.

‘මත්ද්‍රව්‍ය නිසා දිනකට අප රටේ මිනිසුන් 40ක් පමණ මිය යන අතර අවුරුද්දකට 15,000ක් පමණ මිය යනවා. මේ මිය යන අය අතර බොහෝ දෙනා පියකු හෝ ස්වාමිපුරුෂයකු වන නිසා මුළු පවුලම අසරණ වෙනවා. දිනකට කෝටි 60ක මුදලක් අරක්කු සහ බියර් සඳහා මේ රටේ මිනිසුන් වියදම් කරනවා. මෙම මත්ද්‍රව්‍ය සමාගම් අතරින් කීපයක්ම බහුජාතික සමාගම් නිසා විශාල ධනස්කන්දයක් පිටරටට ඇදී යනවා. මධ්‍යසාරවලින් ලැබෙන සුරාබදු ආදායමට වඩා මද්‍යසාර නිසා රටට සිදුවන පාඩුව විශාල බව අධ්‍යයනවලින් සොයාගෙන තිබෙනවා. 2022 වර්ෂයේ මද්‍යසාර ආදායම හා මද්‍යසාර හේතුවෙන් වැය කළ ආර්ථික හා සෞඛ්‍ය පිරිවැය රු. බිලියන 237ක් වන අතර මද්‍යසාර බදු ආදායම රු. බිලියන165ක්.

රටක සංවර්ධනයට මද්‍යසාර බාධාවක් වන අතර එය තිරසර ඉලක්ක 17න් 14ක් සඳහා බාධකයක් ලෙස කටයුතු කරනවා. මද්‍යසාර කිසිදු ප්‍රමාණයක් හෝ මිනිස් සිරුරට හිතකර නොමැති බව විද්‍යාත්මකව තහවුරු කර තිබෙනවා. රිය අනතුරුවලින් වැඩි ප්‍රතිශතයක් මද්‍යසාර නිසා සිදු වෙන්නේ. කාන්තා හිංසනය, ළමා අපචාරවලටද මේවා ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මඟින් මද්‍යසාර හා දුම්කොළ, දුම්වැටි ප්‍රචාරණය තහනම් කර ඇතත් එය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙම පනතේ අත්‍යවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර වසර 3ක් වුවත් එය පාර්ලිමේන්තුවේ සම්මත වී නොමැති නිසා එය වහාම ක්‍රියාත්මක විය යුතුයි.’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *