රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඉදිරියේදී යම් හෙයකින් එය සිදු නොවන්නේ නම් සහ පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
අද පෙරවරුවේ මහනුවරට ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේ දී උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දරුවන්ට ආදර්ශයක් වෙමින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කළයුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා උද්ඝෝෂණ සහ වැඩවර්ජන සඳහා ඇතැම් ගුරුවරු සම්බන්ධ වීමේදී ඉදිරියේදී ඔවුන්ට, දරුවන්ට අවවාදයක් හා උපදෙසක් ලබාදීමට කෙතරම් හැකියාවක් හිමිවේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළේය.
මෙම අර්බුදය සමස්ත ගුරු සේවය තුළම මතුව ඇති අර්බුදයක් නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඇතැම් දේශපාලන නැඹුරුවක් තිබෙන ගුරුවරුන් පමණක් ඊට සම්බන්ධ වී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, එක් කණ්ඩායමක් නිසා සමස්ත ගුරු වෘත්තියටම කැළලක් සිදුව ඇති බවත් සඳහන් කළා.