ජනාධිපති වැය ශීර්ෂය යටතේ නීති විරෝධී ලෙස වැටුප් දෙකක් ලබා ගත්තේ යැයි චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (12) ප්‍රතික්ෂේප කරන ලදී.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සැකකරුගේත් ඔහුගේ දරුවන්ගේ සහ මවගේත් පවතින රෝගී තත්ත්වයන් පදනම් කරගනිමින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, ඉදිරිපත් කළ එම සෞඛ්‍ය හේතූන් ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු ලෙස සැලකිය නොහැකි බව අධිකරණය පෙන්වා දුන්නේය. ඒ අනුව, නඩුව නැවත කැඳවන අගෝස්තු 25 වනදා දක්වා සැකකාර සුගීෂ්වර බණ්ඩාර මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජේ රාජරත්නම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.
“ස්වාමීනී…. මෙම සැකකරු මේ වන විට දින 54කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වෙනවා. සැකකරුගේ හෘදයේ ධමනි ආශ්‍රිත රෝගී තත්ත්වයක් පවතිනවා. මේ හේතුවෙන් ධමනි තුවාල වීම් හා ලේ විෂවීම් සිදුවන අතර ඊට ඔහු ප්‍රතිකාර ලබන තැනැත්තෙක්. දිගු කාලයක් බන්ධනාගාරගත වී සිටීම නිසා එම ප්‍රතිකාර නිසි පරිදි ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
එමෙන් ම, සැකකරු රිමාන්ඞ් භාරයට පත්ව සිටීම නිසා ඔහුගේ එකොළොස් හැවිරිදි දියණිය දැඩි මානසික ආතතියකට ලක්ව සිටිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබෙනවා. සැකකරුගේ දොළොස් හැවිරිදි පුත්‍රයාගේත් ආතති තත්ත්වය උත්සන්න වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු මධ්‍යස්ථ විශාද තත්ත්වයකට පත්ව තිබෙන බව වෛද්‍යවරු ප්‍රකාශ කරන තිබෙනවා.”
“එපමණක් නොව මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත්ව සිටීම නිසා ඔහුගේ මවගේ මානසික තත්ත්වය ද ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන බවත් සඳහන් කළ යුතු යි. මෙම සැකකරු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් පත්වුණේ, 2019 වසරේ නොවැම්බර් මස 19 වන දා. 2022 වසරේ ජූලි මස 20 වන දා ඔහුගේ පත්වීම අවසන් වෙනවා. ඉන් පසුව යි ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ වශයෙන් පත්වීම් ලබන්නේ. ඒ තුළින් මෙම සැකකරු ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලැබූ බව පැමිණිල්ල විසින් එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප වෙනවා.”