ශ්‍රී ලංකාවේ පිළිකා රෝග විනිශ්චය සේවාවන්හි සුවිශේෂී හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින්, PET-CT ස්කෑන් පරීක්ෂණ සඳහා අත්‍යවශ්‍ය ‘ෆ්ලෝරෝඩියොක්සිග්ලූකෝස්’ (Fluorodeoxyglucose – FDG) නමැති විකිරණශීලී ඖෂධය මෙරටදීම නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබේ.
මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ ඇක්සස් ඉංජිනේරු සමාගම (Access Engineering PLC) එක්ව සිදුකරන රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපෘතියකි.
මීට පෙර මෙම ඖෂධය ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුවූ අතර, එහි ආයු කාලය ඉතා කෙටි වීම (short half-life) හේතුවෙන් සැපයුම් බාධා සහ ඉහළ පිරිවැයක් දැරීමට රෝගීන්ට සිදුවිය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මෙම දේශීය නිෂ්පාදනයත් සමඟ කොළඹ ජාතික රෝහලේ PET ස්කෑන් සේවාව සතියකට දින තුනක් දක්වා වැඩි කරන බවයි. මහරගම අපේක්ෂා රෝහල සඳහාද මෙම ක්‍රමවේදය ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතය.
දේශීය නිෂ්පාදනය මගින් රෝගීන්ට කඩිනමින් පරීක්ෂණ සිදුකර ගැනීමට හැකිවීම සහ ඖෂධ ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීම ප්‍රධාන අරමුණු වේ.