අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර තනතුරේ ස්ථීර වීම ඇතුළු චෝදනා රැසක් මුල් කරගනිමින් දැනට වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුමාර කුලරත්න මහතා විදේශගත වීම සඳහා අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් තනතුරට පත්වීම සහ සේවය ස්ථීර කරගැනීම සඳහා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම මෙන්ම, තමන්ට හිමි නොවන වැටුප් පියවරකට අදාළ වැටුපක් ලබාගැනීම හරහා රජයට මූල්‍යමය අලාභයක් සිදුකළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව හෙතෙම මෙසේ සේවයෙන් අත්හිටුවීමට ලක්ව සිටී.
මීට අමතරව, නියමිත සේවා කාලය සම්පූර්ණ කර නොමැති පසුබිමක තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාගැනීම මගින් රජයට මූල්‍ය අලාභයක් සිදුකළ බවට වන චෝදනාව ද ඇතුළුව ඉහත කරුණු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ද දැනට පරීක්ෂණ පවත්වමින් සිටියි.
චමින්ද කුමාර කුලරත්න මහතා පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් තනතුරට පත්වීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ දීර්ඝ කාලයක් සේවය කර ඇත. මහින්ද රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයාව සිටි සමයේදී ඔහුගේ කාර්ය මණ්ඩලයේ කළමනාකරණ සහකාරවරයකු ලෙස සේවයට එක්ව ඇති කුලරත්න මහතා, පසුව ඒ මහතා ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ විපක්ෂ නායක ධුර දැරූ කාලසීමාවන්හිදී ඔහුගේ ලේකම්වරයකු ලෙස ද කටයුතු කර තිබේ.
එමෙන්ම, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති පාලන සමයේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ප්‍රසන්න රණවීර යන මහත්වරුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන් ලෙස කටයුතු කළ වකවානුවේදී එම කාර්යාලවල ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත්තේ ද කුලරත්න මහතාය.
මෙසේ බැරෑරුම් මූල්‍ය හා තොරතුරු වංචා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ පරීක්ෂණ ක්‍රියාත්මක වන අතරතුර හෙතෙම විදේශගත වීමට මෙසේ අවසර ඉල්ලා සිටීම විශේෂත්වයකි.