හිටපු සෞඛ්‍ය ඇමැති, කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේදී ‘සෙෆියුරොක්සින්’ නමැති ප්‍රබල ප්‍රතිජීවක එන්නත් වැඩි මිලට මිලදී ගනිමින් මූල්‍ය වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් කොමිසම තීරණය කර තිබේ.
2021-2022 වසරවලදී රාජ්‍ය ඖෂධ සංස්ථාව හා ආසියානු සංවර්ධන බැංකු ණය යෝජනා ක්‍රමය යටතේ අදාළ ප්‍රතිජීවක ඖෂධය ගෙන්වීම, වැඩි මිලට ටෙන්ඩරය ඉදිරිපත් කර තිබූ සමාගමට පිරිනමා මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බවට, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අල්ලස් කොමිසම වෙත පැමිණිලි කර තිබිණි.
ඩොලර් ශත 20 කට මිලදී ගත හැකිව තිබූ අදාළ ‘සෙෆියුරොක්සින්’ එන්නත, ඩොලර් ශත 70ට මිලදී ගනිමින් රජයට රුපියල් මිලියන 200 ක මූල්‍ය පාඩුවක්, එම ටෙන්ඩරය ලබාගත් සමාගම විසින් සිදු කර ඇති බව පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ.
මෙම මූල්‍ය වංචාව පිළිබඳව මීට පෙර අවස්ථා ගණනාවකදී පැමිණිලි කර ඇති බවත්, වසර තුනකට පසු අල්ලස් කොමිසම මෙලෙස විමර්ශන ආරම්භ කර ඇති බවත්, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ‘දිවයින’ ට ඊයේ (15දා) කීය.