කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාලව ලබා දුන් නියෝගයක් ප්‍රසිද්ධ රැස්වීමක දී අපහාසයට ලක් කරමින් හිටපු ඇමති විමල් විරවංශ අධිකරණය අවමානයට ලක් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන හමුවේ දන්වා සිටියා.
සිද්ධියට අදාලව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම විසින් පොලිස්පතිවරයා හට කරන ලද පැමිණිල්ලකට අදාලව විමර්ශනය ආරම්භ කළ බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දන්වා සිටියේ.
ඒ අනුව කරන ලද ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකරන ලද දර්ශණ මාධ්‍ය ආයතන 7 කින් ලබා ගැනීමට නියෝග නිකුත් කරන ලෙසද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා අදාල මාධ්‍ය ආයතන 7 ට නියෝග නිකුත් කරමින් විමර්ශන ප්‍රගතිය අධිකරණයට දන්වා සිටින ලෙස විමර්ශන නිලධාරීන්ට නියෝග කළා.
අධිකරණය විසින් ගියවර නඩු දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හට අධිකරණය විසින් ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් සැප්තැම්බර් 12 වැනිදා විමල් වීරවංශ රැස්වීමක දී කරපු ප්‍රකාශය මගින් අධිකරණයට අපහාස වීමක් වී ඇද්ද යන්න සම්බන්ධයෙන් සලකා බලා කටයුතු කරන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පෙර නඩු දිනයක දී දන්වා තිබුණා.
එම රැස්වීමේදී කරන ලද ප්‍රකාශයට අයත් සි.ඩි පඨයක්ද අධිකරණයට ඉදිරිපත් කරමින් මේ බව අධිකරණයට දන්වා සිටියා.
එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට පෙර නඩු දිනයේ දී පොලිස්පතිවරයාට නියෝග කර තිබුණා.