වෛද්‍යවරුන් නැති රෝහල් නිර්මාණය කිරීම රජයේ අභිප්‍රාය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.
ඊයේ (03 දා) පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරයා මේ බව කියා සිටියේය.
“වෛද්‍ය බඳවා ගැනීම්, අනුයුක්ත කිරීම්, ස්ථානගත කිරීම්, රජය විසින් අවුල් සහගත තත්ත්වයට පත්කරලා. වෛද්‍යවරු රැක ගැනීමට, රට තුළ රඳවා ගැනීමට රජයට කිසිදු වැඩ පිළිවෙළක් නෑ. තමුන්ගේ හිතවතුන්ට බදු සහන ලබාදෙන රජය, වෛද්‍යවරුන් සම්පූර්ණයෙන්ම අමතක කර දමා තිබෙනවා.
වෛද්‍යවරුන්ට, විශේෂඥ වෛද්‍යවරුන්ට දැනෙන කිසිදු සාධනීය සහනයක් ලබාදීමට මෙම රජය අපොහොසත්ව තිබෙනවා. සමාජ මාධ්‍ය හරහා වෛද්‍යවරුන්ට මඩ ගහනවා. සෞඛ්‍ය ඇමැති, ජනාධිපති එකඟ වූ කිසිදු කරුණකට මේ දක්වා විසඳුම් ලබාදී නෑ.
සෞඛ්‍ය ඇමැතිවරයා තෙල්, අධ්‍යාපනය, ගල්අඟුරු, විදුලිබලය ගැන කතා කරනවා. නමුත් සෞඛ්‍යයේ කිසිම දෙයක් ගැන එතුමාගේ කතාවක් හෝ අවධානයක් නෑ. එතුමා කරන්නේ තමන්ගේ නම ගහගන්න ආරෝග්‍යා කියලා බෝඩ් ලෑලි ගැසීම පමණයි.
වෛද්‍යවරුන්ට ලැබී තිබෙන ඉන්ධන රෝහල් කරා යෑමට ප්‍රමාණවත් නෑ. ඉන්ධනවලට වෛද්‍යවරුන්ට මසකට රු. 35,000කට වඩා වැය වෙනවා. නමුත් ඇමැතිලාට දෙන ඉන්ධන සහන වෛද්‍යවරයාට නෑ. අපිට පොදු ප්‍රවාහනයේ වැඩට එන්න කියනවා. අපේ රටේ ආදරණීය ජනතාව අපිට දොස් කියලා වැඩක් නෑ. අර්බුදය හදන්නේ රජය. වගකීම ඔවුන්ගේ. රජය යන්නේ, නිදහස් සෞඛ්‍ය විනාශ කර දැමීමේ ඉලක්කයක් කරා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති, ජනපති, රටට උත්තර දිය යුතුයි” යැයිද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේය.