“උඹලා ම_රාගනිල්ලා” කියලා නිලධාරීන් එළියට ආවා – මහර සිදුවීම ගැන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් චෝදනා

මහර බන්ධනාගාරයේ හදිසියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පියවර ගන්නවා වෙනුවට “උඹලා මරාගනිල්ලා” යනුවෙන් පවසමින් බන්ධනාගාර නිලධාරීන් එළියට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා චෝදනා කරයි.

සිදුවූ ජීවිත හානි, තුවාල ලැබීම් සහ දේපළ විනාශය පැන යාමේ උත්සාහයක් ලෙස පෙන්වීමට බලධාරීන් උත්සාහ කළද, මෙයට ප්‍රධානතම හේතුව බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය, අක්‍රමිකතා සහ පහසුකම් නොමැතිකම බව ඔහු පෙන්වා දෙයි.

රැඳවියන් 991 දෙනෙකු සඳහා පමණක් පහසුකම් ඇති මහර බන්ධනාගාරයේ රැඳවියන් 4,447 දෙනෙකු අමානුෂික ලෙස රඳවා සිටීම, ජලය, වැසිකිළි, ඖෂධ සහ සුබසාධන පහසුකම් නොමැති වීම මෙන්ම ඇතැම් නිලධාරීන් සිදුකරන නීතිවිරෝධී ජාවාරම්ද මෙම ගැටුමට මුල් වී ඇති බව සේනක පෙරේරා මහතා සඳහන් කළේය.

තදබදය නිසා කෑවොත් වැසිකිළි යාමට සිදුවන බැවින් රැඳවියන් තම ඥාතීන්ගෙන් කෑම පවා එපා යැයි ඉල්ලා සිටින මට්ටමට තත්ත්වය බරපතල වී ඇති බවත්, මූලික නාන ජලය පවා ගෙදරින් රැගෙන ඒමට සිදුව ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එසේම බලධාරීන් සිය නොහැකියාව වසා ගැනීමට “කුමන්ත්‍රණ කතා” සහ “බිල්ලන්” මවන බවට චෝදනා කළ ඒ මහතා, ජනප්‍රිය වැඩ නොකර ප්‍රශ්නය නිවැරදිව හඳුනාගෙන විසඳුම් ලබාදෙන ලෙසත්, රාජකාරිය පැහැර හැරි නිලධාරීන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *