විශ්‍රාම වයස දීර්ඝ කරලා වැඩක් නෑ. ඉස්සරහට නඩු අහන්නේ AI වලින් – පාඨලී චම්පික රණවක කියයි

ඉදිරි වසර කිහිපය තුළ තාක්ෂණික දියුණුව හමුවේ කෘතීම බුද්ධිය හේතුවෙන් නීතිය හා වෛද්‍ය වෘත්තිය ඇතුළු සියලු ක්ෂේත්‍ර දැවැන්ත පරිවර්තනයකට ලක්වන පසුබිමක, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම කිසිදු ප්‍රයෝජනයක් නොමැති තීරණයක් බව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසනවා.

වර්තමාන දේශපාලන නායකත්වය පරණ මතවාද කරපින්නාගත් ‘නියැන්ඩර්තාල්’ මානසිකත්වයක පසුවන බවට ඔහු චෝදනා කරනවා.

එලෝන් මස්ක් වැනි විශ්වයේ ප්‍රමුඛයන් පෙන්වා දෙන පරිදි තව වසර පහක් ඇතුළත ලෝකයේ සියලු කටයුතු දත්ත සහ තාක්ෂණය මත පදනම් වන බවත්, මෙවැනි යුගයක පැරණි වැඩිහිටි පරම්පරාවක් ඉදිරියට ගෙන ඒමෙන් කිසිදු ඵලක් නොවන බවත් මෙහිදී ඔහු පෙන්වා දුන්නා.

වර්තමාන දේශපාලනඥයන් හෝමෝ සේපියන් පරම්පරාවට පවා අයත් නොවන අතර, ඔවුන්ගේ එකම අරමුණ වී ඇත්තේ පැරණි ස්ටැලින්වාදී අයුරින් ක්‍රියාත්මක වන රාජ්‍යයක් බිහිකිරීම බවද සඳහන් කළා.

ජනමත විචාරණයක් ඔස්සේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ආයු කාලය දීර්ඝ කරගැනීම මෙම මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කය බවත්, එහි පළමු පියවර මේ වන විටත් තබා ඇති බවත් ඔහු පැවසුවා.

එම අරමුණ ඉටුකර ගැනීම සඳහා තමන්ට අභියෝගයක් වන විරුද්ධ පක්ෂයේ නායකයන්ට සහ ක්‍රියාකාරිකයන්ට බොරු ලේබල් අලවමින්, ඔවුන්ව සිරගත කර විපක්ෂය සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමට රජය ක්‍රියා කරමින් සිටින බවටද ඔහු වැඩිදුරටත් චෝදනා කළා.

-Source _ News19

Leave a Reply

Your email address will not be published. Required fields are marked *