ආරෝග්‍යා” සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය නවත්වන්න මැදිහත්වන්නැයි සෞඛ්‍ය සේවයේ සියළු වුර්තීය සමිතිවලින් තමන් ඉල්ලා සිටින බව
හිටපු ඇමති පාටලී චම්පික රණවක ප්‍රකාශ කරනවා.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති සංවාදයකට එක්වෙමින් ඔහු මෙ බැව් සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා මීට පෙර ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ වෙනුවට, එම වැඩසටහන්වලට අලුත් ලේබල් යොදා වර්තමානයේදී තමන්ගේ වැඩක් ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් මීට පෙර අධ්‍යයනයක් සිදුකර තිබූ බවයි.
වකුගඩු රෝග, දියවැඩියාව, හෘද රෝග සහ පිළිකා වැනි බෝ නොවන රෝග විශාල වශයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මතුවූ බවද ඔහු සඳහන් කළා.
පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සමයේ ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර, දැනට පවතින MOH කාර්යාල සහ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ බවයි.
“අලුත් ඒවා නෙවෙයි, අර තියෙන ඒවාම Upgrade කරන්න හැදුවා” යනුවෙන් ඔහු සඳහන් කළා.
එහි ප්‍රධාන අරමුණ වූයේ ජනතාව අතර බෝ නොවන රෝග කලින් හඳුනාගැනීම බවද ඔහු පෙන්වා දුන්නා.
ඒ අනුව ජනතාවගේ රුධිර පරීක්ෂණ සිදුකර දියවැඩියාව තිබේද යන්න හඳුනාගැනීම, හෘද රෝග ඇතිවීමේ අවදානම පරීක්ෂා කිරීම සහ වකුගඩු පරීක්ෂණ සිදුකිරීම වැනි සේවා ප්‍රාථමික සෞඛ්‍ය මට්ටමින් ලබාදීම එහි අරමුණ වූ බව ඔහු සඳහන් කළා.
“බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව බලගැන්වීම තමයි මේකෙ අරමුණ” යනුවෙන්ද ඔහු කියා සිටියා.
මෙහිදී නව ගොඩනැගිලි ඉදිකිරීම පමණක් අරමුණු කර නොතිබූ බවත්, දැනට පවතින ඩිස්පැන්සරි සහ MOH කාර්යාල ශක්තිමත් කිරීම ප්‍රධාන අරමුණ වූ බවත් ඔහු පැවසුවා.
එම වැඩපිළිවෙළ යටතේ මේ වනවිට මධ්‍යස්ථාන 600කට අධික ප්‍රමාණයක් සංවර්ධනය කර ඇති බවද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළා.
කෙසේ වෙතත්, වර්තමානයේ ක්‍රියාත්මක කිරීමට යන වැඩසටහනේ තවත් අරමුණක් ලෙස ලෝක බැංකු මුදල් ලබාගැනීම පවතින බවටද ඔහු චෝදනා කළා.
“2027 මාර්තු මාසෙ IMF එක යනවා ලංකාවෙන්. එතකොට IMF Tranche එක එන්නෙ නෑ 27ට. ඒ වගේම IMF එකත් එක්ක ගැටගැහිච්ච ADB, World Bank Budget Support එන්නෙ නෑ. එතකොට අලුත් Project ඕන. එතකොට අලුත් Project එක තමයි මේක” යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.
එමෙන්ම වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද අදහස් පළ කළ ඔහු, එම ප්‍රතිසංස්කරණ මගින් ඩොලර් මිලියන 200ක මුදලක් ලබාගැනීමේ අරමුණක් පවතින බවට චෝදනා කළා.
තවද, සෞඛ්‍ය මධ්‍යස්ථාන දේශපාලනික අරමුණු සඳහා භාවිත කිරීමේ උත්සාහයක් පවතින බවටද පාඨලී චම්පික රණවක මහතා චෝදනා කළා.
“මේ මධ්‍යස්ථානයේ කොමසාරිස්වරු වාඩි කරලා… පක්ෂයේ පූර්ණකාලීනයෝ අපිට ආරංචියි 3,000කට අධික ප්‍රමාණයක් ඉන්නවා කියලා, වැටුප් ලබන පිරිස්… ඒ අයව වාඩි කරලා මේ සෞඛ්‍යයේ තියෙන, ඒ මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්නය පක්ෂය ඇතුළට ගන්නේ. පක්ෂ මධ්‍යස්ථාන බවට මේවා පත් කරන්නේ” යනුවෙන් ඔහු කියා සිටියා.
එමෙන්ම කොමසාරිස්වරුන් යටතට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගෙන ඒමේ උත්සාහයක් පවතින බවටද ඔහු චෝදනා කළා.
මේ අතර, මෙරට වෛද්‍යවරුන්ගෙන් සහ වෛද්‍ය සංගම්වලින්ද ඔහු ඉල්ලීමක් කළා.
“අනේ කරුණා කරලා අර කලින් තිබිච්ච වැඩපිළිවෙළ ගේන්න” යනුවෙන් සඳහන් කළ ඔහු, පවතින MOH කාර්යාල සහ ඩිස්පැන්සරි ශක්තිමත් කරමින්, එවැනි පහසුකම් නොමැති ප්‍රදේශවල නව ඩිස්පැන්සරි ඇති කර බෝ නොවන රෝග පාලනය කිරීමට අවශ්‍ය ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කරන ලෙස ඉල්ලා සිටියා.
එමෙන්ම මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාගේ සමයේ කටයුතු කළ වෛද්‍යවරයාම තෝරාගෙන ඇති බවද ඔහු සඳහන් කළා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් පිළිබඳ තොරතුරු සම්බන්ධයෙන්ද පාඨලී චම්පික රණවක මහතා ප්‍රශ්න කළා.
PAFFREL ආයතනය විසින් සියලුම අමාත්‍යාංශවල ප්‍රාග්ධන වියදම් පිළිබඳ තොරතුරු නිකුත් කළ අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට ඇතුළත් නොවීම සම්බන්ධයෙන් තමන් නිලධාරීන්ගෙන් විමසූ බවද ඔහු පැවසුවා.
තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ එම තොරතුරු ඉල්ලා තිබුණද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒවා ලබාදී නොමැති බවට තමන්ට දැනගැනීමට ලැබුණු බවද ඔහු සඳහන් කළා.
“මේ කරන්න යන්නේ තවත් ගොඩනැගිලි ප්‍රමාණයක් ඇති කරලා, කොමසාරිස්ලා අතට මේක ගන්න එක” යනුවෙන්ද ඔහු චෝදනා කළා.
ඒ වෙනුවට MOH කාර්යාල සහ ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කර, වෛද්‍යවරුන්, හෙද සේවාව, පර්යේෂණ කටයුතු සහ අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නා.
“බෑන්ඩේජ් එක නැති රටක්, අත්‍යවශ්‍ය ඖෂධ නැතුව දවසකට 10ක් 15ක් පිළිකාවෙන් මියයන රටක්… මොකක්ද මේ ගොඩනැගිලි හදන්න යන්නේ?” යනුවෙන්ද පාඨලී චම්පික රණවක මහතා ප්‍රශ්න කළා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින මූලික ගැටලු විසඳීමෙන් අනතුරුව නව ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්, ඒවා පටු අරමුණු මත ක්‍රියාත්මක නොකළ යුතු බවත් ඔහු අවධාරණය කළා.
එමෙන්ම ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් “ජනතාව රවට්ටන කොත්තමල්ලි කතා” සහ “ගෙදරට නර්ස් නෝනා එනවා” වැනි ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන්ද ඔහු විවේචනයක් ඉදිරිපත් කළා.
“අනේ ජනාධිපතිතුමනි, දැන් ඔබතුමාගේ ප්‍රබන්ධ ඇති!” යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.
තවද, වෙනත් ආණ්ඩු විසින් ආරම්භ කළ ව්‍යාපෘතිවලට නව නාමයන් ලබාදී ඒවා වර්තමාන ආණ්ඩුවේ ව්‍යාපෘති ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළා.
“ඔබලාගේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අනුන්ගේ ව්‍යාපෘතියක් අගය කරන්න තියෙන නොහැකියාව” යනුවෙන් ඔහු සඳහන් කළා.
1990 සුවසැරිය ගිලන් රථ සේවාව සම්බන්ධයෙන්ද උදාහරණයක් ඉදිරිපත් කළ පාඨලී චම්පික රණවක මහතා, එම ව්‍යාපෘතියේ වර්ණය පවා වෙනස් කර එය තමන්ගේ ව්‍යාපෘතියක් බවට පත් කිරීමට උත්සාහ කළ බවට චෝදනා කළා.
අවසානයේ ඔහු සඳහන් කළේ මීට පෙර ක්‍රියාත්මක කළ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නේ නම් ඒ සඳහා තමන්ගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.
“මේක කරන්න අර 2017 වැඩේ කරන් යන්න අපේ සම්පූර්ණ සහයෝගය තියෙනවා” යනුවෙන් ඔහු පැවසූ අතර, වර්තමාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මැදිහත් වී එය නතර කරන ලෙස සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිතිවලින්ද ඉල්ලා සිටියා.