මෑතකදී පැවති දුම්රිය වර්ජනය හේතුවෙන් ඇතැම් දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා තිබූ අතර, එම අවස්ථාවේදී ටිකට් නොමැතිව දුම්රියෙන් ගමන් කිරීමට සිදුවූ මගීන් අතරින් පිරිසක් මේ වනවිට ස්වේච්ඡාවෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.
වර්ජනය පැවති දිනවල ප්‍රවේශපත්‍ර කවුළු වසා තිබීම හේතුවෙන් ඇතැම් මගීන්ට සාමාන්‍ය පරිදි ටිකට්පත් ලබාගැනීමට අවස්ථාව හිමිවී නොතිබූ අතර, දුම්රිය සේවාව ක්‍රියාත්මක වූ අවස්ථාවලදී ඔවුන්ට ප්‍රවේශපත්‍ර නොමැතිවම ගමන් කිරීමට සිදුව තිබුණා.
කෙසේවෙතත්, එලෙස ටිකට් නොමැතිව ගමන් කළ මගීන්ගෙන් ඇතැමුන් මේ වනවිට දුම්රිය ස්ථාන වෙත පැමිණ තමන්ට ගෙවීමට තිබූ ගාස්තුව පියවීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.
විශේෂත්වය වන්නේ, වර්ජනය පැවති දිනවල තමන් වෙනුවෙන් නිකුත් නොවූ ප්‍රවේශපත්‍ර වෙනුවට ඇතැම් මගීන් එක්වර ටිකට්පත් දෙකක් මිලදී ගැනීමටද කටයුතු කර තිබීමයි.
එමගින් තමන් ගමන් කළ දුම්රිය සඳහා ගෙවීමට තිබූ ගාස්තුව රජයේ ආදායමට එක් කිරීමට මගීන් ස්වේච්ඡාවෙන් කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙම තත්ත්වය දුම්රිය සේවාව භාවිත කරන ජනතාව තුළ පවතින වගකීම් සහගත ආකල්පයක් ලෙසද දැකිය හැකි අතර, රජයේ ආදායමට තම දායකත්වය ලබාදීමට මගීන්ගෙන් පිරිසක් දක්වන කැමැත්තක් ලෙසද එය පෙන්වා දිය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.
එමෙන්ම, වර්ජනය හේතුවෙන් ඇති වූ තත්ත්වය හමුවේ වුවද දුම්රිය සේවාව වෙනුවෙන් ගාස්තුව ගෙවීමට මගීන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම සමාජ මාධ්‍ය තුළද අවධානයට ලක්ව තිබෙනවා.
මේ අතර, මෙවැනි ක්රියාකලාපයක් මගින් ජනතාවගේ රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් පවතින වගකීම් සහගත හැඟීම මෙන්ම වත්මන් පාලනයේ රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ වැඩපිළිවෙළට සහය දැක්වීමට ඇති කැමැත්තද මෙමගින් පෙන්නුම් කරනවා.