මේ රටේ පාතාලයත් කුඩුත් දූෂිත දේශපාලනයත් අවසන් අදියරේ සිටින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑළිය නගරසභා ශාලාවේ ඊයේ (26) පැවති ලංකා වතු සේවා සංගමයේ රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි. මෙහිදී ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා මෙසේ ද පැවසීය.
“රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තොත් ඇත්තටම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් අපට පේන්න නෑ. ජාතික ආරක්ෂාව තහවුරු වෙලා තියනවා. මේ රටේ ජාතිවාදී, ආගම්වාදී ගැටුම් දැන් නෑ. අනෙකුත් ගැටුම් නෑ. නමුත් පාතාලය පාතාලය අතර ගැටුම් තියනවා. මොකද මේ පාතාලය එක දවසින් දෙකෙන් බිහිවුණු එකක් නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ දේශපාලනඥයන් විසින් පෝෂණය කර ඇති කරපු පාතාලයක්. දැන් පාතාලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනවිට පාතාලය පාතාලය අතර ගැටුම් උග්‍ර වෙලා. දූෂිත දේශපාලනයට තැනක් නැතිවනවිට, ඒ දේශපාලනය සම්බන්ධයෙන් වංචා – දූෂණ ක්‍රියාත්මක වෙනවිට, කුඩු මර්දනය වෙනවිට පාතාලයේ පැවැත්මත් දුර්වල වෙනවා. එතකොට ඒ කට්ටිය තිබෙන දේවල් බෙදාහදා ගන්න සටනක නිරත වන ආකාරයක් අපට පේනවා. ඒ වගේ වනවිට තමයි මේ සිදුවීම් වෙන්නේ. අපට කියන්න වෙන්නේ පාතාලයත්, කුඩුත්, අවසන් ගමනේ යමින් තිබෙන බවයි.”