ආපදා කළමණාකරනය කරන්න එජාපයෙන් ආණ්ඩුවට යෝජනා 16 ක් දෙයි

පවතින ව්‍යසනකාරී තත්ත්වයත් සමඟ දිවයිනේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය (එජාප) සිය ශෝකය පළ කර තිබෙන අතර, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ද ශෝකය පල වී ඇත.

එජාපය පවසා සිටින්නේ, මේ අවස්ථාවේදී ඔවුන් හට කළ හැක්කේ ඔවුන් සතු දැනුමත්, පළපුරුද්දත්, අත්දැකීමුත් ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත සදහා යෙදවීම බවයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙවැනි ගංවතුරවල් 15 වතාවකට පමණ මුහුණ දී ඇති බවත්, එයින් ප්‍රථම ගංවතුර තත්ත්වය සඳහා 1913 වර්ෂයේදී මුහුණදුන් බවත් එම නිවේදනයේ සඳහන් වේ. ඔවුන්ගේ පාලන කාලයේ එනම් 2017 වර්ෂයේදීත් මෙවන් අවස්ථාවන්ට රජයන් මුහුණ දී ඇති බවත් එජාපය සිහිපත් කරයි.

🚨 ජලය බැසයාමත් සමඟ රජය වහාම ක්‍රියාත්මක කළ යුතු යෝජනා

ඒ අනුව ජලය බැසයාමත් සමග ශ්‍රී ලාංකික මහජනතාව මුහුණ දෙන බරපතල ගැටලු කිහිපයක් සඳහා වහාම පියවර ගත යුතු යැයි එජාපය සිය නිවේදනය මඟින් රජයට යෝජනා රැසක් ඉදිරිපත් කර තිබේ.

I. මූල්‍ය සහන සහ වන්දි

  • ග්‍රාම නිලධාරී වසම් 8000 ක පමණ සිදුවී ඇති විනාශය වෙනුවෙන් ලබාදෙන සහන පිළිබඳ නිල නිවේදනයක් කඩිනමින් නිකුත් කිරීම.
  • විනාශ වී ඇති සියලු කර්මාන්ත සඳහා සහන ලබා දෙන මාර්ග තීරණය කර ප්‍රකාශ කිරීම.
  • විවිධ ව්‍යාපාරිකයන්ගේ බැංකු ණය සහ ලීසිං සඳහා මාස 06 ක සහන කාලයක් පොලී රහිතව ලබාදීම.
  • අඩක් හානි වූ නිවාසවලට ගෙවන වන්දි මුදල් තීරණය කිරීම.
  • පූර්ණ හානි වූ නිවාසවලට ලබාදෙන වන්දිවල උපරිමය සහ අවමය පැහැදිළිව තීරණය කිරීම.
  • ජලයෙන් හානි වී ඇති සහ බොල් වී ඇති නිවාසවල බිත්ති, බැලූ බැල්මට හානියක් නොපෙනුණත් යතා තත්වයට පත් කිරීම සඳහා නිවසේ වර්ග අඩි ගණන අනුව යම් මුදලක් ලබාදීම.
  • සියලුම සමෘද්ධිලාභී සහ අස්වැසුම ලබාගන්නා පවුල් සඳහා සහ රජයේ විශ්‍රාමික අය සඳහා ලබා දෙන දීමනාව මාස කිහිපයක් දෙගුණයක් කර ලබා දීම.

II. කෘෂිකර්ම සහ යටිතල පහසුකම්

  • කෘෂිකාර්මික සමස්ත භෝග සඳහා එනම් ගොවිජනතාව ආරක්ෂා කිරීමේ සහන ලබා දීම.
  • නිවාස සාදා ගැනීම සඳහා වාරි මාර්ග සහ අනෙකුත් අංශ ඒකාබද්ධකොට වැලි පිරී ඇති ස්ථානවලින් බලපත්‍රවලින් තොරව අදාළ වැලි ලබා ගැනීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරයාට හා ග්‍රාම නිලධාරීන්ට පැවරීම.
  • එම අලුත්වැඩියා කිරීම් මහජනතාව විසින් සිදුකරන විට පොලීසි මගින් උසාවියට ඉදිරිපත් කිරීමෙන් මහජනතාව අසීරුතාවට පත්වීම වැළැක්වීම සඳහා වැලි ප්‍රවාහනය ලිහිල් කිරීම.
  • හානි සිදු වී ඇති දිස්ත්‍රික්ක සඳහා විදුලිය කඩිනමින් යතාවත් කිරීම, විනාශ වී ඇති කුඹුරු අස්වැද්දීම සඳහා ක්‍රමවේදයන් සකස් කිරීම සහ පානීය ජල ප්‍රශ්නයට විසඳුම් ලබා දීම.
  • හානි සිදු වී නැති ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශ සඳහා ඇතිවිය හැකි ආහාර හිඟය (සහල්, ළූණු, අල, පරිප්පු හා එළවළු ඇතුළු) සියලු ද්‍රව්‍යයන් සඳහා කඩිනම් විසඳුම් ලබාදීම සඳහා යෝජනා සකස් කර ගැනීම.

III. හදිසි නීතිය සහ රාජ්‍ය සේවක සහන

  • හදිසි නීතිය පැනවීම: ශ්‍රී ලංකා ඉතිහාසයේ 1953 සිට 2022 දක්වා වූ ගංවතුර සහ සුළි සුළං ඇතුළු සෑම ආපදා අවස්ථාවකදීම පාහේ මහජනතාවට සහන ලබාදීම සඳහා හදිසි නීතිය පනවා ඇති බව පෙන්වා දෙන එජාපය, එමගින් රාජ්‍ය නිලධාරීන්ටත්, ත්‍රිවිධ හමුදාව සහ පොලීසියටත් කටයුතු කරගෙන යාමට ඇති බාධා කඩිනමින් ඉවත්වී ඉඩප්‍රස්තාව ලැබෙන බව පවසයි.
  • විශේෂ දීමනා: සියලුම හානියට පත් රජයේ සේවකයන්ට සහ හානි සිදු වී ඇති ජනතාව වෙනුවෙන් සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට, විශේෂයෙන් ක්ෂේත්‍ර නිලධාරීන් සියලු දෙනාට මෙම කාල සීමාව තුළ පෙර රජයන් විසින් කරන ලද ආකාරයටම විශේෂ දීමනා චක්‍ර ලේඛන වහාම නිකුත් කිරීම.
  • පරිපාලන ශක්තිමත් කිරීම: රජයේ දේශපාලන අධිකාරියේ සභාපතිත්වය, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සියලුම ක්ෂේත්‍ර නිලධාරීන් හා සිවිල් පරිපාලනය වඩාත් ශක්තිමත් කිරීම සඳහා පියවර ගැනීම.

IV. විදේශ ආධාර

  • මෙම අවස්ථාවේදී විදේශීය ආධාර ලබා දෙන කණ්ඩායම් වලින් හැකිතාක් තෑගි හෝ මුදල් ආධාර ලබා ගැනීමට අවධානය යොමු කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂය පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *