මේ ආණ්ඩුව ගත් ණය ප්‍රමාණය අඩුයි – වෙරිටේ රිසර්ච් කියයි

පශ්චාත් ජනපතිවරණ සමයේ ආණ්ඩුවේ ණය ගැනීම් සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තිබුණත් සැබැවින්ම වත්මන් ආණ්ඩුව ගෙන ඇත්තේ පසුගිය ඔක්තෝබර් සිට මෙම මස අවසානය දක්වා ගැනීමට හැකියාව තිබෙන සමස්ථ ණය ප්‍රමාණයට වඩා අඩු ණය ප්‍රමාණයක් බව වත්මන් ආණ්ඩුවේ ණය ගැනීම් සම්බන්ධයෙන් කළ තොරතුරු පිරික්සීමේදී අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ආණ්ඩුව අධික ලෙස ණය ගනිමින් සිටින බව ඇතැමුන් තර්ක කරන බවත් එයට පිළිතුරු දෙන තවත් පාර්ශ්ව ආණ්ඩුවේ ණය ගැනීම පිළිගත හැකි මට්ටමක පවතින බව ප්‍රකාශ කරන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

මේ අතරතුර වත්මන් ආණ්ඩුව ගනිමින් සිටින ණය වැඩියෙන් යොදවෙන්නේ අයවැය පරතරය පියවාගැනීමට ද, නැතිනම් ගත් ණය නැවත ගෙවීමට ද යන්න පිළිබඳව මත ගැටුමක්ද නිර්මාණය වී තිබෙන බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ප්‍රාථමික හිඟය ආවරණය කරගැනීමට, ගෙවිය යුතු ණය පොලී ගෙවීමට සහ කල්පිරෙන ණයවල මුල් මුදල පියැවීමට මූලික වශයෙන් ආණ්ඩුවක් ණය ලබා ගන්නා බවත් වාර්ෂිකව ඉටුකළ යුතු මෙම බැඳීම් 3හි අගය එකතු කළ විට වසරක් පාසා ආණ්ඩුවකට ගැනීමට සිදු වන මුළු ණය ප්‍රමාණය ලැබෙන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

එය දළ මුල්‍යන අවශ්‍යතාවය ලෙස හැඳින්වෙන බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

2024 අයවැය ඇස්තමේන්තුවට අනුව දළ මුල්‍යන අවශ්‍යතාවය සඳහා මෙරට ආණ්ඩුව මෙම වසරේදී ගැනීමට බලාපොරොත්තු වූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,670 ක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

නමුත් මුදල් අමාත්‍යාංශයේ දත්තවලට අනුව පසුගිය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළදී පසුගිය ආණ්ඩුව සැබවින්ම ගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,903 ක් බවද වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.

ඒ අනුව වත්මන් ආණ්ඩුවට පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මෙම මස අවසානය දක්වා කාලය සඳහා රුපියල් බිලියන 1,766 ක මුදලක් ණයට ගැනීමට හැකියාව තිබෙන බවත් පවතින දත්ත අනුසාරයෙන් එම කාල සීමාව සඳහා වත්මන් ආණ්ඩුවේ ණය ගැනීමේ ඇස්තමේන්තුව නැවත විමසා බැලූ විට මෙම කාලසීමාව සඳහා ගත යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,612 ක් බව අනාවරණය වූ බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

එය ඉහත සඳහන් කළ රුපියල් බිලියන 1,766 ට වඩා අඩු මුදලක් වනවා සේම අයවැයෙන් පනවා ඇති සීමාව ඇතුළත පවතින්නක් බවද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

අනතුරුව ආණ්ඩුවේ සමස්ථ ණය ප්‍රමාණය ඉහළ යනු ඇතැයි අපේක්ෂිත සීමාව ගණනය කිරීම සඳහා දළ මුල්‍යන අවශ්‍යතාවයට පනවා ඇති සීමාවෙන් අපේක්ෂිත ණය ගෙවීම් අඩු කිරීමට පළමුවෙන් කටයුතු කළ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ආණ්ඩුව මුදල් ණයට ගෙන ඇත්තේ කල්පිරෙන ණය පියැවීමට නම් සමස්ථ ණය ප්‍රමාණයේ ඉහළ යාමක් සිදු නොවන බවත් අයවැය පරතරය පියැවීමට ආණ්ඩුව ණය ගන්නේ නම්, ඉන් සමස්ථ ණය ප්‍රමාණය ඉහළ යන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

ඒ අනුව මෙරට ආණ්ඩුව මත පැටවී තිබෙන සමස්ත ණය ප්‍රමාණය වැඩිවිය හැකි සීමාව 2024 අයවැයට අනුව, රුපියල් බිලියන 2,401 ක් බවත් පසුගිය ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ රුපියල් බිලියන 956 කින් මෙරට ආණ්ඩුවේ සමස්ථ ණය ප්‍රමාණය වැඩිවී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

සමස්ථ ණය වැඩිවිය හැකි සීමාව සැලකිල්ලට ගත් විට ඔක්තෝබර් සිට මෙම මස අවසානය දක්වා කාලය තුළදී තවත් රුපියල් බිලියන 1,445 ක ණය ගැනීමේ අවකාශයක් ආණ්ඩුවට තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

අයවැය පරතරය පියවාගැනීමට අවශ්‍ය වන මුදල දේශීය සහ විදේශීය ණය ඇසුරින් සපුරා ගැනීමට යන්නේ කෙසේදැයි යන්න අයවැයේ පැහැදිලිව දක්වා ඇති අතර එම පදනමේ සිට ඉහත දැක්වූ රුපියල් බිලියන 1,445ක ණය අවකාශය ගත් විට, දේශීය මට්ටමින් ලබා ගන්නා රුපියල් බිලියන 1,030 ක ණයවලින් සහ විදේශීය මට්ටමින් ලබා ගන්නා රුපියල් බිලියන 415 ක ණයවලින් එය පියවා ගැනීමට වත්මන් ආණ්ඩුවට හැකියාව තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

පසුගියදා ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා ගෙවුණු කාලය අතරතුර සමස්ථ දේශීය ණය ඉහළ ගොස් ඇත්තේ රුපියල් බිලියන 371 කින් පමණක් බවත් මෙම මස අවසානය දක්වා දේශීය මට්ටමින් ගන්නා ණයවලට අයවැයෙන් පනවා ඇති සීමාව සැලකිල්ලට ගත්විට (රුපියල් බිලියන 1030), දෙසැම්බර් මාසයේදී තවත් රුපියල් බිලියන 659 ක ණය ගැනීමේ හැකියාවක් වත්මන් ආණ්ඩුවට ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

ඉන් අදහස් වන්නේ මෙම වසරේදී ආණ්ඩුව දේශීය මට්ටමින් ලබා ගන්නා සමස්ත ණය මුදල පැහැදිලිවම අයවැයෙන් දක්වා ඇති සීමාව ඇතුළත පවතින බව යැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *