ජනතාව පතන සුබ ආරංචිය මේ ‘සෙට් එක’ එළෙව්වා කියන එක – වසන්ත මුදලිගේ

කිරිබත් කටේ හිර කරලා ජනතාවගේ කට වහන්න නම් ආණ්ඩුව හදන්නේ ඒක හරියන්නේ නෑ. ජනතාවට අහන්න තියෙන හොඳම සුබ ආරංචිය වෙන්නේ මේ හැත්ත බුරුත්තම එළෙව්වා කියන ආරංචිය. මේ ජනතාව මත බර පටවන, ණය උගුලක අපව හිර කරන, ඉනේ තියෙන රෙද්දේ ඉඳලා ඔක්කොම විකුණන ප්‍රතිපත්තිය පරාජය කළා කියන ආරංචිය. ඒ ආරංචිය නිකම් එන්නේ නෑ. ඒක කරන්න ඕන. ඒ සඳහා ජන අරගල සන්ධානය සමග එක් වෙන්න කියලා අපි ජනතාවට ආරාධනා කරනවා” යැයි ජන අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා පැවසීය.

ඊයේ (26දා) සවස කොළඹ, විජේරාම මාවතේ සිංහ සමාජ ශාලාවේ ජන අරගල සන්ධානයේ මාධ්‍ය හමුවවේදී ඔහු මේ අදහස් දැක්වීය.

එහිදී මුදලිගේ මහතා මෙසේ ද කීවේය.

“රට පුරා පෝස්ටරයක් අලවලා තියෙනවා ආරංචිය සුබයි කියලා. මීට කලිනුත් අපි ඔහොම පෝස්ටර් දැකලා තියෙනවා. ආසියාවේ ආශ්චර්යය, සුබ අනාගතයක්, දින සීයෙන් අලුත් රටක්, මෛත්‍රී පාලනයක්, සෞභාග්‍යයේ දැක්ම, වගේ ඒවා. ඕවා අහලම තිත්ත වෙලා ජනතාව ඉන්නේ.

මේ ආණ්ඩුවට දෙන්න තියෙන්නේ ජනතාවගෙන් ලක්ෂ 70කට කන්න නෑ කියන ආරංචිය. ගෙවල් ලක්ෂ 11ක විදුලි ගාස්තු ගෙවා ගන්න බැරිව විදුලිය විසන්ධි කළා කියන ආරංචිය. ළමා මන්දපෝෂණය ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතය වන 26.1%ට වැඩි වෙලා කියන ආරංචිය. ලංකාව ලෝකයේ අඩුම වැටුප් ගෙවන රටවල් අතර 4 වෙනි තැන කියන ආරංචිය. ආර්ථික අසීරුතා නිසා ඉතිහාසයේ වැඩිම පාසල් හැරයෑමේ අගය 2023දී වාර්තා වුණා කියන ආරංචිය. ආණ්ඩුව පාසල් ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ උද්ඝෝෂණයට පහර දුන්නා කියන ආරංචිය. ඕවා තමයි රනිලුයි පොහොට්ටුවයි අපට දෙන සුබ ආරංචි. මේවාට එරෙහිව ජන අරගල සන්ධානය සමග එක් වෙන්න කියලා අපි ජනතාවට ආරාධනා කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *