මේ රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායක වී, මේ මහ පොළවටම පස්වන සෑම මිනිසෙකුටම හොඳ ජීවිතයක් උරුමකර දීමේ වගකීම රජය භාරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.
2023 වසරේදී සිදු වූ නාය යෑමෙන් නිවාස අහිමිව වසර තුනහමාරකට ආසන්න කාලයක් දුෂ්කර සහ අනාරක්ෂිත තත්ත්වයක් යටතේ ජිවත් වූ පූනාගල, කබරගල පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ ” නවෝදයාගම ” නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට අද (28) පෙරවරුවේ එක් වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
මලෛයගම් ජනතාව අපේම සහෝදර ජනතාවක් ලෙස ඔවුන්ට මේ රටේ පුර්ණ අයිතිය සහ හොඳ ජීවිතයක් ලබා දීමට කටයුතු කරන බවත්, සියවස් ගණනාවක් ඔවුන් ගත කළ ජීවිතය ඔවුන්ගේ දරුවන්ට හිමිකර දීම යුක්ති සහගත නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
පසුගිය යුද සමයේදී රට හැර ගොස් ඉන්දියාවේ ජීවත් වන ජනතාවට යළි මෙරටට පැමිණීමට තිබූ බාධා ඉවත් කිරීමට පසුගිය කැබිනට් මණ්ඩලයේදී තීන්දු කළ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
එළඹෙන අයවැයෙන් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දී තිබෙන බවත්, ඉදිරියේදී වතු සමාගම් සමග ගිවිසුම්වලට එළඹීමේදී මෛලයගම ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වූ වගන්ති එම ගිවිසුම්වලට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
අපේ රටේ හදවත බඳු මධ්‍යම කඳුකරය, මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමේ වගකීම ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් වගකීම් දරන සියලු ආයතන සහ දෙපාර්තමේන්තුවල බලය ඒකාබද්ධ කර, සියලු බලය සහිත මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමට අදාළ පනත මේ වසර අවසානයේ හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බවද සඳහන් කළා.
වසර ගණනාවක් අනාරක්ෂිත පරිසරයක ජීවත් වූ මෙම පවුල් සඳහා ආරක්ෂිත නිවසක්, තමන්ගේම ඉඩමක් සහ අභිමානවත් ජීවිතයක් උරුම කර දීමේ අරමුණින් ” පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” රජයේ ප්‍රතිපත්තියට අනුවයි මෙම නිවාස ව්‍යාපෘතිය ඉදි කර ඇත්තේ.
පර්චස් 10 බැගින් වූ ඉඩම් සහ වර්ග අඩි 550කින් යුත් අංග සම්පූර්ණ නිවාස 50ක් මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකර තිබෙන අතර නිදන කාමර දෙකක්, සාලයක්, මුළු තැන්ගෙයක් සහ නාන කාමරයකින් සමන්විත මෙම එක් නිවසක් වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 32කට ආසන්න වනවා.
එසේම, නව නිවාසවල පදිංචි වන සෑම පවුලකටම ගෘහ භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු රුපියල් 175,000 ක් පමණ වටිනා අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීමට ද කටයුතු කෙරුණා.
ප්‍රතිලාභීන් 10 දෙනෙකු වෙත සංකේතාත්මකව නිවාසවල යතුරු භාරදීම සහ හිමිකම් ඔප්පු ප්රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනුයි සිදු කෙරුණේ.
මේ අතර ඉන්දියානු නිවාස 4000ක වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, බණ්ඩාර වෙල සහ හපුතලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල ඉදි කරන ලද නිවාසවල පදිංචි ප්‍රතිලාභීන් 163 දෙනෙකු සඳහා සින්නක්කර ඔප්පු ප්රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
“නවෝදයාගම ” නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේදී පස් කපා බිම් සකස් කිරීමේ සිට නිවාසවල අත්තිවාරම් දැමීම, නිවාස සවිමත් ලෙස ඉදිකිරීම් කටයුතු නිම කිරීම දක්වා වූ සෑම අදියරකදීම ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය දක්වන ලද සක්‍රීය හා ප්‍රශංසනීය දායකත්වය අගයමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා වෙත සංකේතාත්මක තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.
නිවාස ප්‍රතිලාභී පවුල්වල උපහාරය ජනාධිපතිවරයා වෙත පිළිගන්වමින් සමරු තිළිණ පිළිගැන්වීමද සිදු වුණා.