මෙයට වසර කිහිපයකට මත්තෙන් එක්තරා වස් කාලයකදී අපට මොණරතැන්නේ සුමිත්ත හිමි හමුවන්නේ පුල්මුඩේ ප්‍රදේශයේ ප්‍රධාන පාරෙන් කිලෝමීටර 17ක් පමණ දුරින් පිහිටි ගැඹුරු වන මැදදීය. ඒ කැලය මැදම පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ගොවිපළකින් පිණ්ඩපාතය සරිකරගනිමින්, ටෙන්ට් රෙද්දකින් ඇටවූ කූඩාරමක තුන් සිවුරත්, පාත්‍රයත් සහිතව උන්වහන්සේ අල්පේච්ඡව වැඩ විසූහ.
ඒ කැලය අලි විමානයකි. එදා අප උන්වහන්සේ සමග ධර්ම සාකච්ඡාවේ යෙදෙද්දී හතරවටින්ම කුංච නාදයන් ඇසුණි. ඒ හඬ වනය දෙදරවමින් ඒ මේ අත ඇදීගියා පමණක් නොව අපේ ලොමු ද දැහැගැන්නුවේය. නමුත් උන්වහන්සේ සිංහයකු මෙන් ඒ වන මැද වැඩ සිටියහ.
වන මෘගයන්ගෙන් ගහන මෙවන් වනයක් මැද එවන් නිර්භය වැඩවාසයකට සිත ශක්තිමත් කරගත්තේ කෙසේදැයි එදා අපි උන්වහන්සේගෙන් විමසූ විට ‘‘මහත්තයෝ, මේ චීවරයෙන් අබමල් රේණුවක හානියක් නැති බව සතා සර්පයා පවා හඳුනනවා’’ යැයි උන්වහන්සේ පිළිතුරු දුන්නේ මහ වන මැද බවුන් වඩන බුද්ධ පුත්‍රයකුගේ මෛත්‍රී චිත්තයන්, මෛත්‍රී චර්යාවන් වන සතකුට පවා සංවේදීවන වන බව ප්‍රායෝගිකව පහදා දෙමිනි.
බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගොස් වසර දෙදහස් පන්සියයක් ඉක්මවා ගොස් තිබුණද ඒ උතුම් ශාසනික අර්ථයන් දරාගත් උන්වහන්සේගේ පුත්‍රයන් තවමත් ජීවමාන බවත්, ආරණ්‍යගතව, රුක්ඛමූලගතව නිවන් මග වඩන ආකාරයත් දුටු අපි එදා ඒ හමුවෙන් මහත් සේ තුටු වුණෙමු. උත්තේජ ලැබුවෙමු.
ඉනික්බිති, විටෙක නිතුල්ල වන සෙනසුනේ වැඩ සිටිමින් මේ ආරණ්‍යවාසී භික්ෂු සම්ප්‍රදායේ අනාගතය භාරගැනීම පිණිස ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේලා දායාද කිරීමේ අතිශය වටිනා වැඩ පිළිවෙළකද, තවත් විටෙක බුරුමයට ගොස් භාවනා කටයුතුවලද යෙදුණු උන්වහන්සේ ඉකුත්දා අපට හමුවූයේ කළ හැකි සියලු කෙනහිලිකම් කර තමන් වස් වැසූ වනයෙන් පිටමං කරන ලද භික්ෂුවක ලෙසිනි.
බුද්ධාගම මත රැඳුණු වසර 2500ක් පමණ සභ්‍යත්වයක් දරාගෙන සිටිනවා යැයි කියන මේ බෞද්ධ රාජ්‍යයේ, සැදැහැති බොදු දනන් විසින් වස් සමයේදී භික්ෂුවගේ උතුම් වස් වාසය පිණිස අපරිමිත ඇප උපස්ථාන කරන්නා වූ රටේ, මෙවැනි මහත් වූ ධෛර්යයෙන් යුතුව පිළිවෙත් පුරන බුද්ධ පුත්‍රයකුට සිදුව තිබූ ඒ අවැඩ අදහාගත නොහැකි තරම් විය. එය වන ජීවි දෙපාර්තමේන්තුව ගැන අතිශය අපුලක් ඇතිකරවන සුළු සිදුවීමක් විය. වනේ වනසතුන්ටත් වැඩි තිරශ්චීන ගතිවලින් යුතුව රාජකාරි කරන එහි සමහර නිලධාරීන් සිදු කරගන්නා පව් කන්දරාව ගැන සිත් කම්පාකරවන සුළුය.
එකී සිදුවීම අපි මෙලෙස අකුරු කරමු.
මේකී සුමිත්ත ස්වාමීන්වහන්සේ මෙවරද මිනිස් වාසයෙන් බැහැරව සිය වස් වාසය සඳහා තැනක් සොයාගෙන තිබිණි. ඒ අනුව වැලිකන්ද, ත්‍රිකෝණමඩු ප්‍රදේශයේ සේරුවාවිල සහ සෝමාවතිය අතර පාරේ මැදකට වන්නට, ප්‍රධාන පාරෙන් කිලෝමීටරයක් පමණ කැලය ඇතුළේ මහවැලි ගඟ අසබඩ වස් වසන්නට උන්වහන්සේ තීරණය කළහ. එය රක්ෂිතයක් වුවද ඒ පාර දෙපසම අක්කර සිය ගණනින් වූ ගොවිපළ පිහිටා ඇත. ඒ අතරින් සමහරෙක වගා කටයුතු සිදු වුවද ඇතැම් ඒවා පාළුවට ගොසිනි. රක්ෂිත වනයක එවන් වූ සුවිසල් වගාවන්ට ඉඩ ලැබුණේ නම් තුන් සිවුරත් පාත්‍රයත් පමණක් සන්තකය කරගත් භික්ෂුවකට වස් වාසය පිණිස ඒ වනය අකැප වන්නේ කුමන පදනමකින් ද?
ඒ අනුව ඉකුත් ජූලි 19 වැනිදා සුමිත්ත හිමියෝ එහි පැමිණ ඉටිකොළවලින් ආවරණය කරගත් මැස්සක් සිය කුටිය කරගනිමින් වස් වැසීම ඇරැඹූහ. අවට ගමක උදවියගේ අනුග්‍රහයෙන් දානය ද සපයාගත්හ. අලි ඇතුන් රෑන් පිටින් ඒ අසල සැරිසැරුවද අසලවූ මහවැලි ගඟේ සුවිසල් කිඹුලන් සිටියද සුපුරුදු පරිදි කිසිදු කරදරයක් නොවිණි. සුපුරුදු පරිදි කිසිදු කරදරයක් නොවිණි. මෙලෙස දෙසතියක් ගෙවී යන දා වැලිකන්ද අඩවි භාර ප්‍රධාන නිලධාරී වනසිංහ නමැත්තා සිය පිරිස ද සමග එහි කඩා වැදුණි.
‘‘හාමුදුරුවෝ කොහොමද මෙහෙම කැලේ ඉන්නේ. මේක රක්ෂිත වනාන්තරයක් කියලා දන්නෙ නැද්ද?’’ යනුවෙන් හෙතෙම ගෝරනාඩු කළේය.
‘‘පුතේ, මම සදහටම මෙතැන ඉන්නවා නොවෙයි. මම වස් මාස තුන විතරයි මෙතැන ඉන්නේ. අනික මම මීට කලින් කිහිපවිටක්ම රක්ෂිතවල වස් වසලා තියෙනවා. මීට කලින් මම සෝමාවතියෙත් මේ විදිහටම කැලේ වැඩහිටියා. කැලෑ මහත්තුරු උදව් උපකාර කළා මිසක් මට කැලෙන් එළියට යන්න කිව්වේ නැහැ’’ යැයි සුමිත්ත හිමියෝ පවසා සිටියහ.
‘‘ඒත් මේ රක්ෂිත වල මිනිස්සුන්ට ඉන්න අවසරයක් නැහැ’’ වනසිංහ එවිට පැවසුවේය.
‘‘ඒක එහෙම නම් කොහොමද පුතේ මේ කැලේ මිනිස්සු හරක් පට්ටි දක්කගෙන යන්නේ. මේ ගඟේ මාළු බාන්නේ. දඩයමේ යන්නේ. මේ ගං ඉව්රු දිගේ වැලි පටවන් ට්‍රැක්ටර් යන්නේ’’ යැයි සුමිත්ත හිමි පෙරළා විමසූ විට වනසිංහට උත්තර නොවීය.
‘‘ඒවා මම දන්නේ නැහැ. මම මේක ඉහළට දැනුම් දෙනවා’’ යැයි කියමින් වනසිංහ ආපසු හැරී ගියේ නොසතුටිනි.
මේ අතර ඒ වනයේ ඇතැම් පිරිස් කිසිදු චකිතයකින් තොරව ජාවාරම් සිදුකරන අයුරු සුමිත්ත හිමියෝ දෑසින් දකිමින් සිටියහ. ඉකුත් 30 වැනිදා මහවැලි ගඟෙන් පටවාගත් වැලි ට්‍රැක්ටර ගණනාවක් විටින් විට ඇදුනේ උන්වහන්සේගේ භාවනා විවේකය ද බිඳිමිනි.
එසේ තිබියදී ඉකුත් 30 වැනිදා මොණරතැන්න ගමේ ගුණරත්න බණ්ඩා නමැත්තා අයෙක් මිය පරලොව ගියේය. ඔහු සුමිත්ත හිමියන්ගේ ලොකු තාත්තාය. මොණරතැන්න හා සුමිත්ත හිමි වස් විසු තැනත් අතර දුර කිලෝමීටර 22ක් පමණය. සුමිත්ත හිමියන්ට මෙහි වස් වාසය පිණිස උපකාර කළේද ඒ ගමේ සිටි උන්වහන්සේගේ ඥාතීන්ය. මේ මළගෙදරට සුමිත්ත හිමියන් වැඩමවාගැනීමට සිතූ ඔවුන්ගෙන් තිදෙනෙක් මේ පණිවුඩය සැලකර උන්වහන්සේ එහි කැටුව යෑමට 31 වැනිදා එහි ගියහ. ඔවුන් එහි ළඟාවන විට රෑ බෝවී තිබිණි. නමුත් මළගෙදර කටයුතු පසුදිනට යෙදී තිබුණු බැවින් උන්වහන්සේ වඩමවාගෙන යෑම පිණිස තමන් පැමිණි රථයෙන්ම කැලය තුළට ගියහ. සුමිත්ත හිමියන් රථයට නංවාගත් පිරිස ආපසු පැමිණෙන විට ඒ අතුරුපාර මැද ගල් දමා හරස් කර තිබිණි. මේ කුමක්දැයි විමසා ගල් ඉවත්කර මාර්ගය පාදාගැනීම පිණිස රථයේ සිටි තිදෙනා බැස්සා පමණි, වනසිංහ ඇතුළු වනජීවි නිලධාරීන් පිරිසක් විසින් ඔවුන් වටකර ගත්තේ මහා අපරාධයක් කළ පිරිසක් කොටු කරගත් පරිද්දෙනි.
මේ පිරිස හදිසියෙන් පැමිණියේ තමාගේ ලොකු තාත්තාගේ මළගෙදරට තමන් කැටුව යෑමට බවත්, වැඩි ඈතක නොවන ඒ මළගෙදර ගැන විපරම් කර බලා සත්‍යය තේරුම් ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකි බව කොතෙක් පැහැදිලි කළද වනසිංහට එය තේරුම් ගැනීමට අවශ්‍යතාවක් නොවීය. රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළුවීම යන වරද සම්බන්ධයෙන් එම පිරිසට නඩු දමන්නට ඔහු කටයුතු කළේය. එම නඩුව පොළොන්නරුව අධිකරණයේදී අද (10වැනිදා) කැඳවීමට නියමිතය.
මෙවැනි තත්ත්වයක් මත තවත් ඒ වනයේ රැඳී සිටීම සුදුසු නොවන බව මෙන්ම තම ලොකු තාත්තාගේ මළගෙදරට තමන් වැඩවමවාගෙන යෑමට පැමිණි පිරිසට නඩු දැමීම යනු තමන්වහන්සේට මේ වනයෙන් බැහැරවන මෙන් වනසිංහ විසින් කළ දරුණු නියෝගයක් ලෙසින් වටහාගත් සුමිත්ත හිමියෝ පසුදාම එතැනින් බැහැරවීමට තීරණය කළහ.
මේ බැව් දැනගත් ගම්වැසියෝ සමහරෙක් උන්වහන්සේගේ දෙපා මුල වැටී කඳුළු සලමින් මේ වස් සමයේදී තමන්ගේ පිනට අනුග්‍රහ පිණිස තවදුරටත් වනයේම වැඩවසන මෙන් ඉල්ලා සිටියද, තමාට කරන අනුග්‍රහයන් නිසා තවත් අයට නඩු වැටිය හැකි බැවින් හොඳම තීරණය තමා මේ අපත්‍ය භූමියෙන් ඉවත්වීම යැයි පැවසූ සුමිත්ත හිමියෝ ඉන් බැහැරව ආහ.
‘‘මේ කැලේ ඇතුළේ වෙන්න පුළුවන් ජාවාරම් හැම එකක්ම එළිපිටම වෙනවා. මේවා වෙන්නේ ඔය කියන වනසිංහලා නොදැන ද? ඒත් හමුදුරුවෝ මෙතැන වැඩ හිටියොත් ඒ වෙන දේවල් දකිනවා. ඒකයි හාමුදුරුවන් පන්න ගත්තේ’’ අසල ගමක වැසියෙක් ‘අරුණ’ට පැවසූ ඒ කරුණ ගැන විමර්ශනය කිරීම වනජීවි ප්‍රධානීන්ට සහ විෂය භාර ඇමැතිවරියට භාරය.
මේ සිදුවීම ගැන විමසීමට අප වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සුරියබණ්ඩාර ඉකුත් දින කිහිපය පුරා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළද ඔහු පිළිතුරු ලබා නොදුන්නේය.
රටක නීතියක් ඇති බව සැබෑය. අවශ්‍ය නම් ඒ නීති පොතේ පිටු කඩා සාක්කුවේ දමා සඟවාගෙන සිටීමටත් අවශ්‍ය වූ විට ඒ පිටු සාක්කුවෙන් පිටතට ඇද පෙන්නා නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ද ඇතැම් නිලධාරීන් සතු බව සැබෑය. නමුත් වනේ වන සතුනට පවා දැනෙන සඟ ගුණය නොහඳුනන, එවැනි භික්ෂුවක වනයේ රැඳී සිටින විට එයින් වනයටත් වන ජීවීන්ටත් ලැබෙන රැකවරණය නොදන්නාක් මෙන් හැසිරෙන, භික්ෂුවකගේ වස් වාසයට හානි කිරීමේ පාපයේ තරම නොහඳුනන සතුන්ටත් අන්ත වනසිංහයන්ට වනජීවි දෙපාර්තමේන්තුව ගොදුරුවන්නට ඉඩ දුන්නොත් අනාගතයේ කුමක් වේවීද?