දිට්වා ආපදාවෙන් අවතැන් වූ මහියංගනයේ ජනතාවට ස්ථිර නිවාස ලබා දෙන ව්‍යාපෘතියේ වැඩ අවසන් අදියරයට ළගා වෙයි

‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ මහියංගණයේ පවුල් සඳහා රජය ක්‍රියාත්මක කරන ස්ථිර නිවාස ව්‍යාපෘතිය මාස තුනකටත් අඩු කාලයක් තුළ අවසන් අදියර කරා ළඟා වී තිබේ.

පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස රැසක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වීමෙන් පසු, පීඩාවට පත් ජනතාවට කඩිනමින් ස්ථිර නිවාස ලබාදීමේ අරමුණින් රජය රුපියල් ලක්ෂ 50ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේය.

ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ පසුගිය අප්‍රේල් 30 වැනිදා මහියංගණය මැදයාය ග්‍රාම නිලධාරී වසමේ පොලිස් අභ්‍යාස විද්‍යාලය අසල පිහිටි රජයේ ඉඩමක නිවාස සම්පූර්ණයෙන්ම අහිමි වූ පවුල් 11ක් සඳහා නව නිවාස 11ක ඉදිකිරීම් ආරම්භ කර තිබුණි. එදිනම ප්‍රතිලාභී පවුල් වෙත මූලික වන්දි මුදල් ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් වූ චෙක්පත් ද ප්‍රදානය කර ඇත.

මේ වන විට එම නිවාස 11හි ඉදිකිරීම් වහල මට්ටම දක්වා සාර්ථකව අවසන් කර ඇති අතර, එම භූමියේම තවත් නව නිවාස 5ක ඉදිකිරීම් ද ආරම්භ කර තිබේ. ඒ අනුව සමස්ත නිවාස 16ක ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කෙරෙමින් පවතින බව වාර්තා වේ.

දෙවැනි අදියර සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබුණු වහාම ඉතිරි ඉදිකිරීම් කටයුතු ද අවසන් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ආපදාවෙන් නිවාස අහිමි වූ ජනතාවට කෙටි කාලයක් තුළ සුරක්ෂිත ස්ථිර නිවාස ලබාදීමේ රජයේ කඩිනම් වැඩසටහන යටතේ ක්‍රියාත්මකයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *