ලංකා විදුලි බල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණයේදී ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගිය පිරිස 1896ක් යැයි ද ඔවුන්ට වන්දි දීම සඳහා රුපියල් බිලියන 8.5ක් ආසන්න වශයෙන් වැය වනු ඇතැයි ද බලශක්ති වරාය හා සිවිල් ගුවන් සේවා ඇමති අනුර කරුණාතිලක පවසයි.
මෙසේ විශ්‍රාම ගිය පිරිසෙන් එන්.එස්.ඕ සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාලය නියෝජනය කරන පිරිසට අවශ්‍ය වන්දි මුදලෙන් 50%ක් ද අනෙක් සමාගම් නියෝජනය කරන පිරිසට අවශ්‍ය වන්දි මුදලෙන් 100%ක් ද මහා භාණ්ඩාගාරය විසින් දරනු ලබන බව ඇමතිවරයා කීවේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ ද කීය.
“ලංවිම ප්‍රතිව්‍යුහගතකරණය සමග ප්‍රධාන ආයතන 4කට බෙදුණා. ඒ ආයතනවලට සම්බන්ධ වෙන්න අකමැති සේවකයන්ට ස්වෙච්ඡාවන් විශ්‍රාම යන්න අවස්ථාව දුන්නා. ඒ වන්දිය ඉක්මනින් දෙන්න අපි උත්සාහ කළත් විශේෂ හේතු නිසා පමා වුණා. ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගිය සංඛ්‍යාව 1896ක්. ඔවුන්ට වන්දිය සඳහා රුපියල් බිලියන 8.5ක් ගෙවිය යුතුයි. එය මහා භාණ්ඩාගාරයෙන් දැරීමට තීන්දු කළා. ඊ.ඩී.එල් සමාගමේත් ජාතික සම්ප්‍රේෂණ ජාලයේත් එන්.එස්.ඕ ආයතනයේත් මේ පිරිස සිටින්නේ. මෙයින් එන්.එස්.ඕ සමාගමේත් සම්ප්‍රේෂණ ජාලයේත් අවශ්‍ය වන්දි මුදලෙන් 50%ක් මහා භාණ්ඩාගාරයෙන් දෙනවා. අනික් ආයතනවලට සම්පූර්ණයෙන් දරනවා. අද කැබිනට් අනුමැතිය ගන්න නියමිතයි. මේ සතියේම එම වන්දි ගෙවන්න අවශ්‍ය පියවර ගන්න පුළුවන් වේවි.”