පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සාම්පල් පරීක්ෂාව සඳහා පොල් සංවර්ධන අධිකාරිය වෙත ලබාදී තිබූ පොල් තෙල් සාම්පල් අතරින් සියයට විසි එකක ප්‍රමාණයක් කලවම් පොල්තෙල් බවට පරීක්ෂණවලදී තහවුරු වූ බවට පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ ඊයේ (22 වැනිදා) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වෙළෙඳපොළ වැටලීම්වලදී ලබාගත් පොල්තෙල් සාම්පල් හැත්තෑ පහක් මෙලෙස පොල් සංවර්ධන අධිකාරිය වෙත ලබාදී ඇත.
පොල් සංවර්ධන අධිකාරිය එම සාම්පල් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් සාම්පල් 15ක් කලවම් පොල්තෙල් බවට තහවුරු කරගෙන තිබේ. එමෙන්ම පොල්තෙල්වල පැවතිය යුතු ඇෆලටොක්සීන් අගය දහයට පහළ අගයක් ගතයුතු වුවත් මෙම සාම්පල්වල ඇෆලටොක්සීන් අගය පැවතිය යුතු සීමාව ඉක්මවා තිබූ බවත් සභාපතිවරයා කියාසිටියේය.
මීට අමතරව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් තවත් පොල්තෙල් සාම්පල හැත්තෑ පහක් පරීක්ෂණ කටයුතු සඳහා අධිකාරිය වෙත ලබාදී ඇති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.