රට පුරා සුපිරි හෝටල්වලට කුණු කෑම දෙන නුගේගොඩ ගබඩා 4කට සීල් තබයි

ආහාර ද්‍රව්‍යවල නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත් වීමේ දිනය නොමැතිව දිවයිනේ ප්‍රධාන පෙළේ හෝටල්, ආයතන සහ වෙළෙඳපොළ වෙත තොග වශයෙන් ආහාර ද්‍රව්‍ය සපයන, නුගේගොඩ පිහිටි ප්‍රධාන පෙළේ සැපයුම්කරුවකුට අයත් ආහාර ද්‍රව්‍ය ගබඩා 04ක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පෙරේදා (03 වැනිදා ) සම්පූර්ණයෙන්ම මුද්‍රා තබා තිබේ.

බොහෝ නිෂ්පාදනවල ආනයනකරු පිළිබඳ කිසිදු තොරතුරක් සඳහන් කර නොතිබීම ඇතුළු පාරිභෝගික නීති උල්ලංඝනය කිරීම් රැසක් අනාවරණයවීම හේතුවෙන් මෙම ගබඩා පරිශ්‍රය මුද්‍රා තැබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.

භාණ්ඩවල මුල් ඇසුරුම්වල ඇති නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු කිසිවක් නොමැතිව එම භාණ්ඩ වෙනත් ඇසුරුම්වලට බහාලීමේ ක්‍රියාවලියක් මෙම ස්ථානයේ ක්‍රියාත්මක වී ඇති බව නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත. මීට අමතරව, හෝටල් සහ වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට සූදානම් කර තිබූ කල් ඉකුත් වූ නිෂ්පාදන තොගයක්ද මෙහි තිබී සොයාගෙන ඇත.

නුගේගොඩ, පාගොඩ පාර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ආහාර ද්‍රව්‍ය ආනයනකරුවකුගේ ගබඩා පරිශ්‍රයේදී තිබූ ගබඩා 4ක් මෙලෙස මුද්‍රා තබා ඇත.

මෙම ගබඩා හරහා දිවයිනේ ප්‍රධාන පෙළේ හෝටල් ආයතන සහ වෙළෙඳපොළ වෙත තොග වශයෙන් ආහාර ද්‍රව්‍ය සපයා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

චීස් සහ බටර් ඇතුළු කිරි නිෂ්පාදන, චොකලට් සහ කොකෝවා කුඩු, ටින් කළ පලතුරු සහ එළවළු, පැස්ටා වර්ග, මස් වර්ග සහ බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය රැසක්ද එම ද්‍රව්‍ය අතර වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා ගබඩා මුද්‍රා තබා ඇති අතර, අදාළ ව්‍යාපාරික ආයතනයට සහ සැකකරුවන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ දැඩි නීතිමය පියවර ගැනීමට නියමිතය.

ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී භාණ්ඩවල ලේබලය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය සහ ආනයනකරුගේ තොරතුරු පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස බලධාරීන් මහජනතාවගෙන්, ආහාර නිෂ්පාදන ආයතනවලින් මෙන්ම හෝටල් හිමියන්ගෙන්ද ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *