ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් අතින් උපාධිය ලබාගත් අවස්ථාව
නාවලපිටිය, ගම්පොළ මාර්ගයේ පදිංචි අනූහත් වැනි වියේ පසුවන විතානගේ ලීලාවතී ඇස්ලින් ධර්මරත්න මාතාව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා වාර්තාවක් පිහිටුවා ප්‍රදේශයට ගෞරවයක් ගෙන දීමට සමත්ව සිටින්නීය.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති එම විශ්වවිද්‍යාලයේ 143 වැනි උපාධි ප්රදානෝත්සවයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත මහනාහිමියන් අතින් මෙම උපාධිය ඇයට පිරිනැමිණ. ඇය ලබාගත් මෙම ශාස්ත්‍රපති උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයීය උසස් අධ්‍යාපන ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් සේම එවැනි වයෝවෘද්ධ කාන්තාවක් අප රට තුළ තැබූ ඓතිහාසික වාර්තාවක් ද වන්නේය.
එසේම ඇයගේ දූවරුන් සිව්දෙනා ද උපාධිධාරීන් වන අතර ඇය සමග එම නිවසේ උපාධිධාරීන් පස්දෙනෙකි.
1927 වර්ෂයේ නොවැම්බර් මස 30 දින හොරණ, මිල්ලෑව ගමේ උපන් ඇය මිල්ලෑව බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 1946 වසරේදී ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය දෙකෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ඉන් සමත්ව ඇත.
ඉන්පසු ඉංග්‍රීසි ගුරුවරියක ලෙස පත්වීම් ලැබූ ඇය පසුව 1955 වසරේදී නොතාරිස් විභාගයට පෙනී සිට ඉන් මෙරට ඉහළින්ම සමත් වූ කාන්තාව ලෙස පත්ව නොතාරිස්වරියක ලෙස රාජකාරිය අරඹා ඇත. ගාල්ල, බද්දේගම නොතාරිස්වරිය ලෙස සිටි ඇය පසුව වලපනේ ප්‍රදේශයට සේවා මාරුවක් ලබා ඇත. එහිදී නොතාරිස්වරුන්ගේ සම්මේලනයේදී ඇගේ
සහකරු වන චිත්රසෝම ජයලත් හමුවී 1962 වසරේදී ඔහු හා විවාහ වී තිබේ. චිත්රසෝම ජයලත් ගම්පොල ප්‍රදේශයේ රාජකාරී කරන අතරතුර මොවුන් නාවලපිටිය, පල්ලේගම ප්‍රදේශයට පදිංචියට පැමිණ දරුවන් හදා වඩා ගනිමින් සිටියදී 1970 වසරේදී චිත්‍ර සෝම ජයලත් හදිස්සියේ අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ වන විට ලීලාවතී මාතාවට කුඩා ගැහැනු දරුවන් සිව්දෙනකු මෙන්ම ඥාති දියණියන් දෙදෙනකු සමග ගැහැනු දරුවන් හය දෙනකුගේ වගකීම භාර වී තිබිණ. ඇය ධෛර්යයෙන් ජීවිතයට මුහුණ දී මෙම සයදෙනාටම හොඳින් උගන්වා ඇති අතර ඔවුන් හය දෙනාම අද ඉතා උසස් රැකියාවල නිරතව සිටිති.
ඇගේ වැඩිමහල් දියණිය ධම්මිකා ජයලත් වෛද්‍යවරියෙකි. ඇය බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරියයි. දෙවැනියා වූ සමුද්‍රා ජයලත් ඉංජිනේරු උපාධිධාරිනියකි. ඇය මේ වන විට ඔස්ටේ්රලියාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියකි. තෙවැනියා ඉන්ද්‍රනීලා ජයලත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර අද ඇය ගුරුවරියකි. සිව්වැන්නා වූ මනෝහාරී ජයලත් නීතිඥවරියකි. අනෙක් දියණිය නයෝමි මනෝමංජරී හෙදියකි. එසේම ඉහේෂා දිල්රුක්ෂි ජයලත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරන්නීය’ මෙලෙස සැමියා නොමැතිව වසර පනස් හතරක් තුළ ඇය ඇගේ දරුවන් උපාධිධාරීන් කර ඇයද උපාධියක් ලබා ගත් ධෛර්යමත් කාන්තාවක් වූවාය’ එසේම ඇය මේ සියලු කටයුතු නිමවා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධියත්, ශාස්ත්‍රපති උපාධියත් හිමි කරගත්තේ එම විශ්වවිද්‍යාලයේ වයස්ගතම ශිෂ්‍යාව ද වෙමිනි. ඇගේ ඊළඟ බලාපොරොත්තුව වී ඇත්තේ ආචාර්ය උපාධිය ලබා ගැනීමයි.
මේ කටයුතුවලට සූදානම් වන ඇය මේ වන විට පරම්පරා හයක් දැක තිබේ. ඒ ඇගේ ආච්චි අම්මා ඊට පසු අම්මා, ඇය, ඇගේ දුවලා, දුවලාගේ දරුවෝ හා ඒ දරුවන්ගේ දරුවෝ වශයෙනි. වයස ශතකයක් ලබා ඇගේ ආචාර්ය උපාධිය පිළිබඳ සිහිනය ද ළඟා කර ගැනීමට ඇයට හැකි වේවායි අපි සුබ පතමු.