පාස්කුවට ගෝඨාභය පැටලවීම හීනයක් – ගෝඨාගේ හිටපු ලේකම් සුගීෂ්වර කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සම්බන්ධ කිරීමට උත්සාහ කිරීම ශානි අබේසේකර මහතා දකින දවල් හීනයක් පමණක් බවත්, එය කිසිසේත්ම ඉටු නොවන බවත් සුගීෂ්වර බණ්ඩාර මහතා පවසනවා.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව මහරගමදී අද (14) පැවති මහජන පෙත්සම අතරතුරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්  ඔහු සඳහන් කළේ, වත්මන් රජය යටතේ හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා දැඩි දේශපාලන දඩයමකට ලක්ව ඇති බවයි.

එහිදී ඔහු සඳහන් කළේ, එල්ටීටීඊ සංවිධානය නැවත පණගැන්වීමට තිබූ උත්සාහයන් ව්‍යර්ථ කරමින් රට වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කළ සුරේෂ් සලේ මහතාට අද පත්ව ඇත්තේ අවාසනාවන්ත ඉරණමක් බවත් වාතාශ්‍රය පවා නොමැති අඳුරු කුටියක, මීයන් සහ කැරපොත්තන් ගැවසෙන අපිරිසිදු පරිසරයක වැසිකිළිය දෙස බලාගෙන ආහාර ගැනීමට සිදුවන මට්ටමට මේ ආණ්ඩුව ඔහුව පත් කර ඇති බවයි.

අද වන විට මෙරට පාලකයන් නිදහසේ හුස්ම ගන්නේ සුරේෂ් සලේ වැනි නිලධාරීන් කළ සේවය නිසා යැයි අමතක නොකළ යුතු බව සුගීෂ්වර බණ්ඩාර මහතා පවසනවා.

එමෙන්ම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවල හෝ එෆ්.බී.අයි (FBI) වාර්තාවේ පවා සුරේෂ් සලේගේ නම සඳහන් නොවන පසුබිමක, හදිසියේම ශානි අබේසේකර මහතාට ඔහුගේ නම මතක් වී ඇත්තේ පෞද්ගලික පළිගැනීමක් සඳහා බවට ඔහු චෝදනා කළා.

අල්විස් වාර්තාව මගින් ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න යන නිලධාරීන් රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් වගකීමට ලක් කර ඇති නිසා, ඉන් බේරීම සඳහා ඔවුන් රස කතා  නිර්මාණය කරමින් සිටින බව සුගීෂ්වර බණ්ඩාර  මහතා පෙන්වාදෙනවා.

එමෙන්ම සහරාන් හසීම්ට කටුවාපිටිය පල්ලිය පෙන්වා දුන්නේ සුරේෂ් සලේ බවට පවතින ප්‍රකාශ අසත්‍ය බවත්, ප්‍රහාරකයින්2019 පෙබරවාරි මාසයේ සිටම එම ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන සැලසුම් සකස් කර තිබූ බවත් සුගීෂ්වර බණ්ඩාර මහතා මෙහිදී අනාවරණය කළා.

හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා විසින් ප්‍රහාරය ගැන සියලු තොරතුරු ලබා දී තිබියදීත් එය වළක්වා ගැනීමට අපොහොසත් වූ රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර අද සිටිය යුත්තේ රජගෙදර නොව හිරගෙදර බව ද සුගීෂ් බණ්ඩාර මහතා  වැඩිදුරටත් කියා සිටියා.  

Source – News19

Leave a Reply

Your email address will not be published. Required fields are marked *