ත්‍රිපෝෂ ප්‍රතිලාභීන්ට අඛණ්ඩව ත්‍රිපෝෂ සැපයීමේ අරමුණින් පැය 24 පුරාම ත්‍රිපෝෂ නිෂ්පාදනය කරමින් පවතින බව එම සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා පවසයි. ගර්භිණී සහ කිරි දෙන මවුවරුන්ටත්, වයස මාස 6 සිට අවුරුදු 03 දක්වාත්, අවශ්‍යතාව අනුව අවුරුදු 03ට වැඩි දරුවන්ටත් ත්‍රිපෝෂ නිකුත් කරයි. නමුත්
ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රධානම අමුද්‍රව්‍ය වන ප්‍රමිතිගත බඩඉරිඟු නොමැති වීම මත ත්‍රිපෝෂ නිෂ්පාදනය මාස ගණනාවක් අඩාළ වී තිබිණි.
ඒ හේතුවෙන් ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන අඛණ්ඩව සිදු කිරීමට නොහැකි වූ අතර ඉලක්කගත ප්‍රතිලාභී කණ්ඩායම් වෙත ත්‍රිපෝෂ ලබාදීම අක්‍රමවත්ව පැවතිණි. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ මැදිහත්වීම මත අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය කිරීමට පසුගියදා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හා ත්‍රිපෝෂ සමාගම අතර එකඟතා ගිවිසුමකට එළඹිණි.
එම ගිවිසුමෙන් පසුව ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු සැපයුම යථාවත් වී තිබේ. ඒ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනය මේ වන විට යළි ආරම්භ කර තිබේ. පැය 24 පුරාම නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන බව එහි සභාපති අමල් අත්තනායක මහතා පැවසීය.
මෙම මාසය අවසන් වන විට ත්‍රිපෝෂ නොලැබුණු සැමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා ත්‍රිපෝෂ ලබාගැනීමට හැකි වන පරිදි බෙදාහැරීම් දිවයින පුරා සිදු කරන බවත්, එමෙන්ම වසරේ ඉදිරි මාස කිහිපයටත් අවශ්‍ය සැපයුම අඛණ්ඩව සිදු කළ හැකි බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.