එදා ජනාධිපති වෙබ් අඩවිය හැක් කළ දරුවා අද කෝටිපතියෙක්, හිරේ දැම්මා නම් අද ඔහු අපරාධකරුවෙක් – හිටපු ජනපති මෛත්‍රී

වත්මන් ලෝකයේ බලවත් රටවල් බෝම්බ සහ මිසයිල භාවිත කළ ද, තවත් වසර කිහිපයකින් රටවල් යටත් කර ගැනීම සිදු කරන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හරහා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

තමා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අවදියේදී, ජනාධිපති නිල වෙබ් අඩවිය 16 හැවිරිදි දරුවකු විසින් හැක් කරනු ලැබූ බවයි උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

එම අවස්ථාවේදී පොලිසිය ඔහුට එරෙහිව නඩු පැවරීමට සියලු කටයුතු සූදානම් කර තිබුණ ද, තමා එම දරුවා සහ පවුලේ සාමාජිකයන් ගෙන්වා, ඔවුන්ට නවීන ජංගම දුරකථනයක් සහ ලැප්ටොප් පරිගණකයක් ලබා දී, දිවා ආහාරය ද පිරිනමා පිටත් කර යැවූ බව ඔහු එහිදී සඳහන් කළා.

ජනාධිපති කාර්යාලයට පැමිණෙන විට එම පිරිස දැඩි බියට පත්ව සිටි බවත්, එදා තමා එම දරුවා සිරගත කළේ නම්, අද ඔහු අපරාධකරුවකු වනු ඇති බවත් හිටපු ජනාධිපතිවරයා පවසා සිටියා. 

අද වන විට එම දරුවා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ කෝටිපතියකු වී ඇති බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *