ශ්‍රී ලංකාව සතු මැණික් සම්පත පදනම් කරගනිමින් ලෝකයේ ධනවත්ම රටවල් අතරට ශ්‍රී ලංකාව ද පත් කිරීමේ විශේෂ යෝජනාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සමස්ත ලංකා මැණික් පතල්කරුවන්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර තිබේ.
මෙම යෝජනාවේ ප්‍රධාන කරුණ වන්නේ දැනට ශ්‍රී ලංකා භාණ්ඩාගාරය සතු රන් සහ විදේශ විනිමය (ඩොලර්) සංචිත මෙන්, ‘මැණික් ඩොලර් සංචිත’ (Gem Dollar Reserves) පවත්වාගෙන යෑම ආරම්භ කිරීමයි. ශ්‍රී ලංකාව ලොව ධනවත්ම රට ලෙස නඟාසිටුවීම මෙහි මූලික අරමුණ බව සංගමයේ සභාපති ආචාර්ය තිලකසිරි විතාරණ මහතා පැවසීය.
ආචාර්ය විතාරණ මහතා පවසන පරිදි, ශ්‍රී ලාංකික මැණික් අලෙවිකරුවන් සතුව දැනට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන ගණනක් වටිනා මැණික් තොග පවතින නමුත්, ඒවා වහාම මුදල් බවට පත් කර ගැනීමේ (Liquidity) හැකියාවක් නොමැත. මෙම තත්ත්වයට විසඳුමක් ලෙස සහ එම වටිනාකම රටේ ආර්ථිකයට ඍජුව දායක කර ගැනීම සඳහා ‘ශ්‍රී ලංකා මැණික් බැංකුවක්’ (Gem Bank of Sri Lanka) ස්ථාපිත කරන ලෙස ඔහු යෝජනා කරයි.
එම බැංකුව හරහා මෙම මැණික් තොග ඩොලර් සංචිත ලෙස ඇතුළත් කිරීම මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ධනය ඉහළ නැංවිය හැකි බව සමස්ත ලංකා මැණික් පතල්කරුවන්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමයේ විශ්වාසයයි.