දිවි සැරිය නිමා කළ බිබිල, රතුගල ගම්මානයේ ආදිවාසි නායකයාගේ දේහය භූමදානය කිරීමට පෙර, මියගිය ඇත්තන්ගේ වැඩිමහල් දරුවාට වැදි නායක පදවිය පිරිනැමීමේ චාරිත්‍රය දඹාන ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් අතින් පසුගියදා
(09) සවස සිදු කෙරිණි.
ආදිවාසි ජනයාගේ චාරිත්‍ර අනුව වැදි නායක තනතුර පරම්පරාවෙන් උරුමය මත, මියගිය ආදිවාසි නායක සුදා වන්නියාගේ වැඩිමහල් දරුවා වන දානිගල මහබණ්ඩලාගේ නිශාන්ත නමැත්තා රතුගල ගම්මානයේ පවුල් 150ක නායකයා ලෙස වරිග සභාව විසින් තීන්දු කරනු ලැබීය. ඒ අනුව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් අතින් ඔහුට නායක පදවිය පිරිනැමිණි. නව නායකයා සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවකු ද වේ.
රුක්අත්තන ගසේ පොතුවලින් තැනූ පෙට්ටියක තැන්පත් කළ නායකයාගේ දේහය, ආදිවාසි සම්ප්‍රදායට අනුව පදිංචිව සිටි නිෙවසේ දින දෙකක් තබා ගෙවත්තේ කැපූ වළ අසලට ගෙන එන ලදි. එහිදී දඹාන ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් අනෙකුත් පළාත්වල වරිග සභා නායකයන් ඉදිරියේදී මියගිය නායකයාගේ වැඩිමහල් දරුවාට අවවාද හා ප්‍රතිඥාව ලබා දී, දුන්න හා ඊතලය, කෙටේරිය, තුවාය, බුලත් කොක්කනය සහ කිනිස්ස පලඳවා නායක පදවිය පිරිනැමීය.
රාජ්‍ය අනුග්‍රහය සහිතව වැදි නායකයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ආදිවාසි සම්ප්‍රදායට අනුව සිදු කෙරිණි. මෙම අවස්ථාවට මහා සංඝරත්නය, දඹාන ආදිවාසි නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් හා වරිග සභාවේ ප්‍රාන්ත නායකයන්, පාරිභෝගික කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති ආර්.එම්. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර, හිටපු ඌව මහ ඇමැති සහ හිටපු කැබිනට් ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා ඇතුළු දේශපාලන අධිකාරිය ද, ඌව ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන සහ ගම්වාසීහු විශාල පිරිසක් සහභාගි වූහ.