2012 සහ 2013 වර්ෂවලදී පැවැති දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනවලදී රුපියල් මිලියන 700කට ආසන්න රාජ්‍ය මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය එවකට ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මෙන්ම රාජ්‍ය නිලධාරීන් දොළොස් දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.
2012 අනුරාධපුර මායාකඩුවදී සහ 2013 අම්පාර හාඩි විද්‍යාලයේදී පැවැත්වුණු එම ප්‍රදර්ශනවලදී උක්ත රාජ්‍ය නිලධාරීන් පිරිස තමන්ට හිතවත් සමාගම් සමග එක්ව මෙලෙස රාජ්‍ය මුදල් වංචා සහගත ලෙස අවභාවිතට ලක් කර ඇති බවට, ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහිව පුරවැසි බලය’ කරන ලද පැමිණිල්ලකට අනුව, අල්ලස් කොමිසම මෙලෙස විමර්ශන ආරම්භ කර ඇත.
මෙම මුදල් අවභාවිත සම්බන්ධයෙන් චෝදනා ලත් එවකට ඇමැති රංජිත් සියඹලාපිටිය, හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ පවුල, ජගත් ප්‍රනාන්දු (ඇමැති සම්බන්ධීකරණ ලේකම්) සිරිසේන අමරසේකර (හිටපු අගමැති ලේකම්) උදය සෙනෙවිරත්න (හිටපු ජනාධිපති ලේකම්), බී. ඒ. තිලකරත්න (හිටපු භෞතික සැලසුම් දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල්) එච්. එම්. ගුණසේකර (විදුලි සංදේශ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශ හිටපු ලේකම්) පී. බී. අබේකෝන් (හිටපු රාජ්‍ය පරිපාලන ලේකම්) මහින්ද සෙනෙවිරත්න (දිස්ත්‍රික් ලේකම් අනුරාධපුර) එස්. එම්. පී. යූ. සෙනරත් (හිටපු සහකාර ලේකම් විදුලි සංදේශ අමාත්‍යාංශය), ආර්. එම්. ආර්. ප්‍රේමසිරි (ප්‍රවාහන හා මහා මාර්ග ලේකම්), එම්. එම්. පී. ෆර්ඩිනැන්ඩු (විදුලිබල බලශක්ති ලේකම්) යන මහත්ම මහත්මීන්ට එරෙහිව, මෙලෙස විමර්ශන ආරම්භ කර ඇත.
‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා විසින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 2026.01.12 දා කරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස විමර්ශන ආරම්භ කර ඇති බව ඔහු වෙත ලිඛිතව දන්වා තිබේ.