චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව වකුගඩු රෝහල ළමා වකුගඩු බද්ධ කිරීම් අඛණ්ඩව සිදු කිරීමට සුදානම් වෙයි

පොළොන්නරුව චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේදී (National Nephrology Specialized Hospital) වයස අවුරුදු 16 ක පිරිමි ළමා රෝගියෙක් සඳහා වකුගඩු බද්ධ කිරීම මැයි 07 දින සාර්ථකව සිදු විය.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මඟ පෙන්වීම සහ උපදෙස් මත මෙරට ළමා රෝහලක හැර පර්යන්ත රෝහලක පළමු වරට සිදු කළ ළමා වකුගඩු බද්ධ සැත්කම ඉතා සාර්ථක සිදු කළ බවත්, මින් ඉදිරියට සමස්ත ශ්‍රී ලාංකේය දරුවන්ගේ අවශ්‍යතා පරිදි වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදු කිරීමට සිය රෝහල සූදානම් බව පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වකුගඩු රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිල්කා සරණසිංහ මහත්මිය ඇතුළු ශල්‍යකර්මය සිදු කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම අද (26) පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී අවධාරණය කරන ලදි.

පොළොන්නරුව චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ශ්‍රවණාගාරයේ දී මෙම මාධ්‍ය හමුව පැවැති අතර, එහිදී සාර්ථකව සිදු කරන ලද ඉහත‌ ළමා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය පිළිබඳවත්, සැත්කමෙන් පසු රැකවරණය (Post-Surgery Care), සහ රෝහලේ අනාගත සැත්කම් සැලසුම් පිළිබඳවත් දැනුවත් කිරීමට කටයුතු කරන ලදි.

පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ත්ව වකුගඩු රෝහල සමඟ එක්ව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ජාවට

සම්පත්දායකයන් ලෙස පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වකුගඩු රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිල්කා සරණසිංහ මෙන්ම වකුගඩු සැත්කම සිදු කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ ළමා හා වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වෙනුජය බණ්ඩාර, සනාල පටක හා වාහිනී බද්ධ කිරීම පිළිබඳව විශේෂඥ වෛද්‍ය මනුජය ගොඩකන්දගේ, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජීවක කුලතිස්ස යන මහත්ම මහත්මීන් සම්බන්ධ කරගෙන තිබුණි.

මින්නේරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 ක ළමා රෝගියා සඳහා වකුගඩුව පරිත්‍යාග කරන ලදුව ඇත්තේ එම දරුවාගේ පියා විසින් වන අතර මේ වන විට එම දරුවා හා පියා සම්පූර්ණ සුවය ලබා සිටින බව ද මෙහිදී විශේෂඥ වෛද්‍ය කණ්ඩායම පෙන්වා දෙන ලදි.

මෙහිදී අදහස් දැක් වූ පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ත්ව වකුගඩු රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිල්කා සරණසිංහ මහත්මිය පවසා සිටියේ 2021 වසරේ සිට රෝහල ජනතාවගේ ප්‍රතිකාර සේවාවන් සඳහා විවෘත කරන ලද බවත්, එතැන් සිට වකුගඩු රෝග ආශ්‍රිත රෝගීන් සඳහා රුධිර කාන්දුකරණය, රක්ත කාන්දුකරණය සහ රුධිරවාහිනී සහ අවයව බද්ධ කිරීම ඇතුළු සියළු සේවා ලබාදෙන ලද බවයි.

රෝහලේ පළමු සජීවී ළමා වකුගඩු බද්ධය සාර්ථකව සිදු කිරීමට ලැබීම රෝහල ලද ජයග්‍රහණයක් බවත්, සැත්කමට භාජනය වූ රෝගියා සහ රෝගියාට අවයව බද්ධ කළ රෝගියාගේ පියා සුවෙන් පසුවන බව ද පැවසීය.

රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සියලු කාර්ය මණ්ඩලවල කැපවීම මත මෙම ජයග්‍රහණය අත්කර ගත හැකි වූ බවත්, කිසිදු බියකින්, සැකයකින් තොරව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වකුගඩු රෝහලට පැමිණ ළමා වකුගඩු බද්ධ කිරීමේ සේවා ලබා ගන්නා ලෙස ද ජනතාව දැනුවත් කරන ලදි.

ළමා හා වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වෙනුජය බණ්ඩාර මහතා පවසා සිටියේ රෝහල පළමු ළමා වකුගඩු බද්ධ කිරීම සාර්ථකව සිදුකරමින් ළමා වකුගඩු සත්කාර සේවාවේ සුවිශේෂී කඩඉමක් පසු කළ බවයි. දරුවන්ගේ දීර්ඝ කාලීන වකුගඩු රෝග සඳහා ප්‍රධාන හේතුන් ලෙස සංජානනීය වකුගඩු සහ මූත්‍රා මාර්ගය ආශ්‍රිතව තිබෙන ආබාධ වන බව ද පෙන්වා දෙන ලද අතර ළමා වකුගඩු රෝග විශේෂඥ සායන සෑම පළාතකම පිහිටුවා ඇති බවත්, නියමිත පරිදි සායනික ක්‍රියාකාරීත්වයක් සමග නොසිටීම හේතුවෙන් වකුගඩු දෙකම අකර්මණ්‍යවීමේ හැකියාව පවතින බවද පැවසීය. රෝහල තුළ ළමා වකුගඩු බද්ධ කිරීමේ සේවාවන් 2025 වසරේ මැද භාගයේ සිට ආරම්භ කළ බවත්,

එතැන් සිට සායන සඳහා සහභාගි වූ දීර්ඝ කාලීන වකුගඩු රෝගය තිබෙන දරුවෙක් මෙම සැත්කම සඳහා භාජනය කළ බව ද දරුවාගේ පියා ද සියලු පරීක්ෂණ ක්‍රියාකාරකම් සඳහා සහභාගී වූ බවද පැවසීය. ළමා වකුගඩු රෝග සඳහා යම් කිසි ගැටලුවක් තිබෙන ඕනෑම දෙමව්පියෙකුට රෝහල වෙත යොමු විය හැකි බවත් එම සේවා කටයුතු සඳහා රෝහල සහ පළපුරුදු කාර්ය මණ්ඩලය සූදානම් බවද ඒ සඳහා වන සියලු පහසුකම් වලින් ද රෝහල ශක්තිමත් බවද පැවසීය.

සනාල පටක හා වාහිනී බද්ධ කිරීම පිළිබඳව විශේෂඥ වෛද්‍ය මනුජය ගොඩකන්දගේ මහතා කියා සිටියේ වැඩිහිටි රෝගියෙකුට සිදුකරන වකුගඩු බද්ධයකට වඩා සංකීර්ණ සහ තාක්ෂණික වශයෙන් අභියෝගාත්මක පියවරක් ලෙස මෙම ළමා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම පෙන්වා දිය හැකි බවයි. ළමා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදුකරන මෙරට ප්‍රධාන ආයතන දෙක හැරුණු විට මෙම රෝහල තුළින් එම සේවාව ලබාදීමට හැකිවීම සුවිශේෂී අවස්ථාවක් බව ද කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීම තුළ මෙම සුවිශේෂි ජයග්‍රහණය අත් කර ගත හැකි වූ බවද පැවසීය. පැය දෙකහමාරක් තුනක් වැනි ඉතාම කෙටි කාලයක් තුළ ශල්‍යකර්ම දෙකක් සිදු කරමින් කිසිදු සංකූලතාවයකින් ද තොරව සාර්ථකව සිදුකළ හැකි වූ බවද පැවසීය.

නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජීවක කුලතිස්ස මහතා මෙය අභියෝගාත්මක ශල්‍යකර්මයක් බවත් සංකූලතාවයන් ඇති නොවන පරිදි දරුවා සහ පියා ශල්‍යකර්ම සඳහා සූදානම් කරමින් දරුවාට සහ පියාට ශල්‍යකර්ම දෙකක් සිදු කරමින් සහ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම තුළ සාර්ථකව පළමු ළමා වකුගඩු බද්ධ කිරීම සිදු කළ හැකි වූ බවයි.

ළමා වකුගඩු බද්ධය සිදු කරන ලද දරුවාගේ මව අදහස් දක්වමින් දරුවාගේ අසනීපය දැනගත් දා සිට තමන්ට ජීවිතය පවා එපා වූ බවත් එම අසනීපය වෙනුවෙන් කළ යුතු සියල්ල වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් වියදම් කරන්නට පවා සිදුවිය හැකි බව බොහෝ දෙනෙක් ප්‍රකාශ කළ බව ද පැවසීය. ඒ අතර පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ත්ව වකුගඩු රෝහල ගැන දැනගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා යොමු වු බවත් සියලු වෛද්‍ය ප්‍රතිකාර, ශල්‍යකර්ම, ඖෂධ ඇතුළුව ආදරණීය සේවාවක් රෝහලෙන් නොමිලේම ලබාදුන් බවද ඇය ප්‍රකාශ කළාය.

ළමා වකුගඩු රෝගීන් සඳහා වකුගඩු බද්ධ කිරීම යනු අවසාන අවධියේ වකුගඩු අක්‍රිය වීමෙන් (End-Stage Renal Disease) පෙළෙන දරුවන්ට සාමාන්‍ය ජීවිතයක් ලබා දීම සඳහා සිදු කරන ප්‍රධානතම සහ සාර්ථකම ශල්‍යකර්මයයි. ශ්‍රී ලංකාව තුළ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල (LRH), පේරාදෙණිය ශික්ෂණ රෝහල සහ පොළොන්නරුව චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වකුගඩු රෝහල වැනි රජයේ ප්‍රධාන රෝහල්වල මෙම සැත්කම් නොමිලේ සහ සාර්ථකව සිදු කරනු ලබයි.

මේ ආකාරයේ සැත්කම් ඉන්දියාව, සිංගප්පූරුව ඇතුළු ආසන්න රටවල මෙන්ම එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවල ද සිදු කෙරෙන නමුත් ශ්‍රී ලාංකික දරුවන් එවැනි රටවලට රැගෙන යාමේ ප්‍රධාන අභියෝගය වන්නේ ඒ සඳහා අධික මුදලක් වැය වීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *