ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් මෙරට දැවැන්තම ව්‍යාපාරික ජාලයක් වන හේලීස් සමූහයේ සමාගම් කිහිපයක් විසින්, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව රුපියල් බිලියන ගණනක වන්දි ඉල්ලා එන්තරවාසි කිහිපයක් යොමු කර තිබෙනවා.
ඒ තමන්ගේ සමාගම්වලට සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලවලට එරෙහිව සමාජ මාධ්‍ය හරහා සාවද්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ කිරීමට එරෙහිව.
මේ එන්තරවාසිවල සමස්ත වටිනාකම රුපියල් බිලියන 8ක් වෙනවා. හේලීස් පී.එල්.සී. (Hayleys PLC) රුපියල් බිලියන 5ක වන්දියක් ඉල්ලා තිබෙනවා. ද කිංග්ස්බරි (The Kingsbury PLC) රුපියල් බිලියන 1ක වන්දියක් ඉල්ලලා තියෙනවා. හේලීස් රීටේල් හෝල්ඩිංග්ස් (Hayleys Retail Holdings) විසින් බිලියන දෙකක වන්දි මුදලක් ඉල්ලා තිබෙනවා..
හේලීස් පී.එල්.සී. මව් සමාගම වෙනුවෙන් නීතිඥ චානුක ඒකනායක මහතා යොමු කළ එන්තරවාසියෙන් රුපියල් බිලියන 5ක වන්දියක් ඉල්ලා තිබෙනවා. 2026 මැයි 21 වෙනිදා පමණ විමල් වීරවංශ මහතාගේ යූටියුබ් නාලිකාවේ පළ කළ “හිඟන්නට ‘පවුඩර්’ දාලා රුපියල වට්ටපු හැටි” කියන වීඩියෝව, ඒ ආශ්‍රිත මාධ්‍ය නිවේදනය සහ ටික්ටොක් මෙන්ම ෆේස්බුක් හරහා පළ කළ අන්තර්ගතයන් මේකට පදනම් වෙලා තියෙනවා.
හේලීස් සමාගම රුපියල් බිලියන 186ක වෙළඳපොළ ප්‍රාග්ධනයක් තියෙන දැවැන්ත සමාගමක් බව පෙන්වා දෙන නීතිඥවරයා, විමල් වීරවංශ මහතා සමාගමට එල්ල කරපු චෝදනා සෘජුවම උපුටා දක්වලා තියෙනවා. ඒ අනුව සමාගම රජයේ නිලධාරීන් සමඟ නුසුදුසු ගනුදෙනුවල සහ දූෂිත හැසිරීම්වල නිරත වන බවට අදහස් වන “engaging in improper dealings with government officials and/or corrupt and unethical conduct” යන ප්‍රකාශය ඔහු එහිදී සිදු කර තිබෙනවා.
ඒ වගේම, හැරිස්චන්ද්‍ර මිල්ස් (Harischandra Mills PLC) සමාගමේ කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් අයුතු වාසි ලබාගත් බවට කරන ලද චෝදනාත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මේ එන්තරවාසියෙන් අවධාරණය කරනවා. මේ වීඩියෝ ඉවත් කරගෙන දින 3ක් ඇතුළත වන්දිය ගෙවන්න කියලා ඔවුන් දැනුම් දීලා තියෙනවා.
මීට අමතරව හේලීස් රීටේල් හෝල්ඩිංග්ස් ලිමිටඩ් (Hayleys Retail Holdings Limited) සමාගම වෙනුවෙන් නීතිඥ සෂීන් අර්සකුලරත්න කන්නන්ගර මහතා තවත් එන්තරවාසියක් යවලා තියෙනවා. ඒ, 2026 අප්‍රේල් 20 වෙනිදා හිරු රූපවාහිනියේ විකාශය වුණු “සලකුණ” වැඩසටහනේදී විමල් වීරවංශ මහතා කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන්.
එහිදී අදාළ සමාගම ආරම්භ කිරීම සහ එහි ව්‍යාපාරික කටයුතු මුදල් විශුද්ධිකරණය කිරීමේ මාර්ගයක් හරහා සිදුවන බවට අදහස් වන පරිදි, එනම් සමාගම “funded by and is a conduit to launder proceeds of corruption” විදිහට වීරවංශ මහතා කරපු ප්‍රකාශය මේ එන්තරවාසියට පදනම් වෙලා තියෙනවා. මේ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් දින 7ක් ඇතුළත ලිඛිතව සමාව ගත යුතු බවත් ඔවුන් දන්වා තිබෙනවා.
ධම්මික පෙරේරා මහතාටම අයත් ද කිංග්ස්බරි පී.එල්.සී. (The Kingsbury PLC) සමාගම වෙනුවෙන් සින්නදුරෙයි සුන්දරලිංගම් ඇන්ඩ් බාලේන්ද්‍ර නීතිඥ සමාගමත් මේ විදිහටම තවත් එන්තරවාසියක් යොමු කරලා තියෙනවා. 2026 පෙබරවාරි 22 වෙනිදා විමල් වීරවංශ මහතාගේ යූටියුබ් නාලිකාවේ පළ කරපු “ගජ මිතුරෝ උඩයි! උඩයි! ‘ගුල් ටයිමර්’ බිමයි! බිමයි!” කියන වීඩියෝවට එරෙහිව තමයි මේක යවලා තියෙන්නේ.
කිංග්ස්බරි හෝටලය පිහිටලා තියෙන භූමියේ බදු ගිවිසුම් සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ගෙන් අයුතු වාසි ලබා ගන්න අදාළ හෝටලය තුළ නුසුදුසු සාද පැවැත්වූ බවට අදහස් වන පරිදි එනම්, සමාගම “hosts inappropriate parties for government officials in order to obtain undue advantages or favourable treatment in negotiations relating to the lease of the land” කියලා විමල් වීරවංශ මහතා කරපු ප්‍රකාශය මේකට හේතු වෙලා තියෙනවා.
මේ ප්‍රකාශයන් සියලුම මාධ්‍යවලින් ඉවත් කරගෙන අදාළ ඉල්ලීම් ඉටු කිරීමට කටයුතු නොකළොත් කිසිදු පෙර දැනුම්දීමකින් තොරව දැඩි නීතිමය පියවර ගන්නා බව මේ සෑම එන්තරවාසියකින්ම සමාගම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් දැඩිව අනතුරු අඟවලා තියෙනවා.