කවර හෝ භික්ෂූන් වහන්සේ නමක් පවතින නීතියට අනුකූල නොවන ලෙස ඕනෑම අපරාධයකට සම්බන්ධ වී ඇත්නම්, ඒ පිළිබඳව රටේ සාමාන්‍ය නීතියට අනුව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
මේ වන විටත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කරමින් පවතින බවයි අද (26) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ඇතැම් කෙනෙකුට එය ප්‍රමාණවත් නොවන බව හැඟිය හැකි බවත්, තවත් අයකුට එය වේගවත් වැඩි යැයි සිතිය හැකි බවත්, කෙසේ වුනත් අධිකරණය මඟින් එම කටයුතු ස්වාධීනව ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
රජය බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දීම සඳහා බැඳී සිටින බවත්, රටේ ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාවන් පවතින අතර, එම අනන්‍යතාවන් ආරක්ෂා කර ගනිමින් සමාජයේ සාමකාමී යහපැවැත්ම වෙනුවෙන් රජය කටයුතු කරන බවයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.