මෙරට ප්‍රධාන කලාප අතර ගමනාගමන කටයුතු වේගවත් කරමින් ධාවන කාලය අඩු කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක වෙන අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ප්‍රධාන ස්ථානයක් ගනු ලබන මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි කොටසේ දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු හෙට (29) ආරම්භ කෙරේ.
මේ යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා දිවෙන මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වන අතර එහි නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගලගෙදර මහජන ක්‍රීඩාංගණයේදී පස්වරු 4.00ට පැවැත්වේ. මධ්‍යම අධිවේගයේ තෙවැනි අදියර සඳහා දේශීය අරමුදල් මඟින් 2026 අය-වැයෙන් රුපියල් මිලියන 20,000ක් වෙන් කර තිබේ. දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින් පැකේජ 7ක් යටතේ ක්‍රියාත්මක වන මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රජය විසින් රුපියල් බිලියන 112ක අස්තමේන්තුගත මුදලකට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
රඹුක්කන සිට ගලගෙදර දක්වා සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 19ක් වේ. මෙම කොටස දේශීය කොන්ත්‍රාත්කරුවන් යටතේ පැකේජ කිහිපයකට බෙදා දැනට වේගයෙන් ඉදිවෙමින් පවතී. 2027 මාර්තු මස අවසන් වන විට මෙහි කාපට් ඇතිරීමේ වැඩ නිම කර විවෘත කිරීමට අපේක්ෂා කෙරේ. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ප්‍රධාන අදියර 4ක් යටතේ ක්‍රියාත්මක අතර දැනට මිරිගම සිට කුරුණෑගල දක්වා කොටස සම්පූර්ණයෙන් මහජනතාවට විවෘත කර ඇත.
මීරිගම සිට කුරුණෑගල දක්වා වූ මෙම කොටසෙහි නකලගමුව, දඹොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල අන්තර් හුවමාරු පවතී. එමෙන්ම කඩවත සිට මීරිගම දක්වා කොටස මේ වන විට ඉදිකිරීම් සිදු වේ. දුර ප්‍රමාණය කිලෝමීටර 37.1කි. චීන එක්සිම් බැංකු (EXIM Bank of China) අරමුදල් මත ක්‍රියාත්මක වන මෙම කොටසේ වැඩකටයුතු චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්න හේතුවෙන් මඳක් ප්‍රමාද විය. මාර්ග සංවර්ධන අධිකාරියට (RDA) අනුව මෙය 2028 වසර අවසන් වන විට නිම කර විවෘත කිරීමට සැලසුම් කර ඇත. මේ මාර්ගයේ හතර වැනි අදියර යටතේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා ඉදිවන අතර සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර 60.3කි. මේ සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු (Land Acquisition) දැනට 73%කට වඩා අවසන් කර ඇත. ඉදිරි ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මධ්‍යම අධිවේගී මාර්ගයෙන් දැනට ගමන් කළ හැකි වන්නේ මීරිගම සිට කුරුණෑගල (යග්ගපිටිය) දක්වා පමණි. කඩවත සිට මීරිගම කොටස නිම වූ පසු කොළඹ සිට කුරුණෑගල දක්වාත්, පොතුහැර-රඹුක්කන-ගලගෙදර කොටස් නිම වූ පසු මහනුවර (ගලගෙදර) දක්වාත් අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. මෙම ව්‍යාපෘතිය 2000 වසරේදී සැලසුම් කෙරුණු අතර පසුව පරිසර ගැටලු සහ ගමන් මඟෙහි වෙනස්කම් හේතුවෙන් කිහිපවරයක්ම සංශෝධනය විය. පසුව මධ්‍යම අධිවේගී මාර්ගය ලෙස නිල වශයෙන් 2015න් පසු ව්‍යාපෘතිය නැවත ආරම්භ විය.