ධර්ම සංඝායනාවක් හරහා බුදු සසුනේ චිරස්ථිතිය සහතික කරන්න – චන්ද්‍රිකාගෙන් ත්‍රෛනිකායික මහ සඟරුවනට ලිපියක්

බුදු සසුන හමුවේ මේ මොහොතේ පැන නැගී ඇති භයානක අර්බුදය හේතුවෙන් ධර්ම සංඝායනාවක් පවත්වන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත.

පසුගිය 20 වැනිදා යොමු කර ඇති එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

බුදු දහමේ චිරස්ථිතිය සහ යහපැවැත්ම රඳාපවතින්නේ ධර්ම – විනය දෙක මත බව අපි දනිමු. ඒ නිසාම ශාසන ඉතිහාසය පුරා ශාසනයේ අර්බුද පැන නැඟුණු අවස්ථාවල කලින් කල ශාසන ශෝධන ක්‍රියාවලීන් හරහා බුදු දහමේ සුරක්ෂිතතාව තහවුරු කරගෙන මෙතෙක් කලක් රැකගෙන ආවේය.

පළමු ධර්ම සංඝායනාවේ සිට මහනුවර යුගයේ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ නාහිමියන් දක්වා වූ යුගය තුළ සිදුකළ ශාසන ශෝධන වැඩපිළිවෙළවල් නිසා බුදු දහමේ චිරස්ථිතිය තහවුරු වූ බව පැහැදිලිය. යටත් විජිත යුගයෙන් පසු 1956 බණ්ඩාරනායක පාලන කාලයේ බුදු දහමේ යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබූවද, එතුමා ඝාතනයෙන් පසු එම වැඩපිළිවෙළ ද සාර්ථක කරගැනීමට හැකි වූයේ නැත.

මාගේ පාලන කාලයේද අපවත් වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන්ගේ මැදිහත්වීමෙන් මාගේ රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ ධර්ම සංඝායනාවක් පැවැත්වීමට සැලසුම් කළද, ඇතැම් භික්ෂූන් පිරිසකගේ විරෝධය නිසා එම උත්සාහයද අත්හැර දැමීමට සිදුවිය.

නිදහසින් පසු මා ඉහත සඳහන් කළ අවස්ථා දෙකෙහිදීම සිදුවූයේ බුදු සසුනේ ඇතිවී තිබෙන අර්බුදයන් හරහා වරප්‍රසාද භුක්ති විඳින ඇතැම් පාර්ශ්වයන් එම අර්බුද විසඳීම වැළැක්වීමට උපක්‍රමශීලීව කටයුතු කළ බව කනගාටුවෙන් ප්‍රකාශ කිරීමට සිදුවේ.

ඉකුත් කාලවකවානුවලටත් වඩා අද බරපතළ අභියෝග රාශියකට බුදු සසුන මුහුණදී තිබේ.

අප මේ මොහොතේ හෝ බුදු සසුන සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුද පිළිබඳ පුළුල් අභ්‍යන්තර සංවාදයක් ආරම්භකර සැබෑ අර්බුදයට මුල්වන හේතූන් සහ ඊට කෙටිකාලීන සහ දීර්ඝකාලීන වශයෙන් නිශ්චිත විසඳුම් ලබාදීම අත්‍යවශ්‍ය වේ. එසේ නොකර කලින් කල ජනගතවන හුදකලා සිද්ධිවලට විසඳුම් සොයා යෑම හෝ ඒවා ජනගතවීම වැළැක්වීම විසඳුමක් සේ සැලකීම බුද්ධිගෝචර නොවේ. ඉන් සිදුවන්නේ සැබෑ අර්බුදය යටපත්වීම පමණි.

මේ මොහොතේ බුදු සසුන සම්බන්ධයෙන් පැන නැඟී ඇති භයානක අර්බුදය වෙනුවෙන් සාධනීයව මැදිහත්වීම අප සැමගේ ශුද්ධ වූ යුග කාර්යභාරයක් බව අවධාරණය කරන අතර, ඒ වෙනුවෙන් ධර්ම සංඝායනාවක් හරහා බුදු සසුනේ චිරස්ථිතිය සහතික කිරීමට ඔබ වහන්සේලාගේ නායකත්වය සහ මූලිකත්වය ලබාදෙන ලෙස නමස්කාරපූර්වකව ඉල්ලා සිටිමි.

ඒ සඳහා අවශ්‍ය සංවිධානය සහ පහසුකම් සැපයීමට ජ්‍යෙෂ්ඨ ගිහි බෞද්ධ නායකයන් කණ්ඩායමක් සමග එක්ව කටයුතු කිරීමට මා සූදානම් බව ද සඳහන් කරනු කැමැත්තෙමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *