ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක් සනිටුහන් කරමින්, මෙරට පළමු උසස් බැටරි බලශක්ති ගබඩා පද්ධති (Battery Energy Storage Systems – BESS) දිවයිනට ළඟා වී තිබේ. මෙමඟින් මෙරටට මාසිකව ඇමරිකානු ඩොලර් මිලියන 2.6ක (රුපියල් කෝටි 78කට අධික) විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
මෙම නවීන තාක්ෂණය හරහා අධික පිරිවැයක් දරමින් සිදුකරන ඉන්ධන මත පදනම් වූ විදුලි ජනනය සැලකිය යුතු ලෙස අඩු කිරීමට නියමිතය.
විදුලි ඒකකයක මිල රු. 115 සිට රු. 30 දක්වා අඩු වෙයිද?
දැනට ඉන්ධන භාවිතයෙන් ජනනය කරන විදුලි ඒකකයක් සඳහා රුපියල් 115ක පමණ පිරිවැයක් වැය වන අතර, BESS තාක්ෂණය ඔස්සේ ගබඩා කරන විදුලිය සඳහා වැය වන්නේ ඒකකයකට රුපියල් 30ක් වැනි අඩු පිරිවැයකි. මෙමඟින් පාරිභෝගිකයන්ට සහන සැලසීම බලධාරීන්ගේ අරමුණයි.
පළමු බැටරි පද්ධති 6 කොළඹ වරායට
2025 ජූලි මාසයේදී රජය විසින් මෙගාවොට් 160ක ධාරිතාවයකින් යුත් BESS ඒකක 16ක් මිලදී ගැනීම සඳහා ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවා තිබූ අතර, එහි කොන්ත්‍රාත්තුව සමාගම් තුනකට හිමි විය. ඒ අනුව, වින්ඩ්ෆෝර්ස් පීඑල්සී (WindForce PLC) සමාගම විසින් මෙරටට ගෙනෙන ලද පළමු බැටරි පද්ධති 6 පසුගිය සෙනසුරාදා කොළඹ වරායට ළඟා වීමත් සමඟ ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ විය.
මෙම ඒකක පහත සඳහන් ප්‍රධාන උපපොළවල් ආසන්නයේ ස්ථාපනය කිරීමට නියමිතය:
- මහව
- වවුනියාව
- චුන්නාකම්
- කිලිනොච්චිය
- අනුරාධපුරය
- පොළොන්නරුව
දහවල් සූර්ය බලශක්තිය රෑට විදුලිය දෙන්න ගබඩා කරයි
වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදත් චන්දන මහතා ප්‍රකාශ කළේ මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 60ක පමණ ආයෝජනයක් සිදුකර ඇති බවයි.
පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඔහු මෙසේ පැහැදිලි කළේය:
“දහවල් 10.00 සිට දහවල් 2.00 දක්වා කාලය තුළ වහල මත සවි කර ඇති සූර්ය පැනල (Rooftop Solar) මඟින් ජනනය වන අතිරික්ත විදුලිය මෙම පද්ධති මඟින් ගබඩා කරනු ලබනවා. ඉන්පසු රාත්‍රී 6.00 සිට 10.00 දක්වා පවතින අධික විදුලි ඉල්ලුම පවතින අවස්ථාවලදී එම විදුලිය ජාතික පද්ධතියට මුදා හරිනවා. මේ හරහා රාත්‍රී කාලයේදී ඩීසල් බලාගාර මත රඳා පැවැත්ම විශාල ලෙස අඩු වෙනවා.”
ඉදිරි මාස දෙක ඇතුළත මෙම පද්ධති ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇත. මෙහි දිවා කාලයේ කළමනාකරණ කටයුතු බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින ‘නැෂනල් සිස්ටම් ඔපරේටර් ලිමිටඩ්’ (National System Operator Ltd) ආයතනය මඟින් සිදු කෙරේ.